brand logo
logo
 මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම - තෙවන අන්‍යෝන්‍ය ඇගයීමට සූදානම

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීම - තෙවන අන්‍යෝන්‍ය ඇගයීමට සූදානම

06 October 2026


මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදයට අරමුදල් සැපයීම වැළැක්වීමේ (AML/CFT) ජාත්‍යන්තර අනුකූලතා පරීක්ෂා කිරීමට අදාළව ශ්‍රී ලංකාව මුහුණ දෙන තෙවන අන්‍යෝන්‍ය ඇගයීම සඳහා වූ පූර්ව සූදානම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (06) ජනාධිපති කාර්යාලයේදී පැවැත්විණි.


මේ මස 26 වැනිදා සිට නොවැම්බර් 6 දක්වා සිදු කෙරෙන මෙම තෙවන අන්‍යෝන්‍ය ඇගයීම සඳහා වූ පූර්ව සූදානම පිළිබඳ මෙහිදී පුළුල් ලෙස විමසා බැලුණු අතර, මීට අදාළව ඉදිරිපත් කළ නිර්දේශ සහ ක්‍රියාකාරී සැලැස්ම අමාත්‍යාංශ සහ ආයතනික මට්ටමින් ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතියද සමාලෝචනය කෙරිණි.


ශ්‍රී ලංකාව මුහුණ දී සිටින අවදානම හඳුනාගනිමින්, අවදානම් අවම කර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සහ ආයතනික ප්‍රතිසංස්කරණ සකස් කිරීමේ අවශ්‍යතාව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා, මෙය වෙනත් පාර්ශ්වවල බලපෑම නිසා නොව, ආයතන පද්ධතියට සහ රටට අවශ්‍ය නිසාම සිදුකළ යුතු කාර්යයක් ලෙස සැලකීමේ අවශ්‍යතාවද අවධාරණය කළේය.


මෙම ඇගයීම් ක්‍රියාවලියට අදාළ සම්බන්ධීකරණ කටයුතු ශ්‍රී ලංකා මහ බැංකුවේ ස්ථාපිත මූල්‍ය බුද්ධි ඒකකය විසින් සිදු කරනු ලබන අතර, තාක්ෂණික අනුකූලතාව සම්බන්ධ නිර්දේශ සහ සඵලදායිතාව පිළිබඳව මෙහිදී නිලධාරීහු ජනාධිපතිවරයාව දැනුවත් කළහ.


අපරාධයකින් උපයාගත් දේ පිළිබඳ පනත ක්‍රියාකාරී මට්ටමට ගෙන ඒම, සමාගම් පනත සහ එහි ක්‍රියාකාරිත්වය, භාර ආඥා පනත සංශෝධනය කිරීම ආදී කටයුතු පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරිණි.


අදාළ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ යම් අඩුපාඩුවක් හෝ ප්‍රමාදයක් ඇත්නම්, ඒවා නිවැරදි කර ගනිමින් රජයක් සහ ආයතන පද්ධතියක් ලෙස මෙම ක්‍රියාවලිය සඳහා ඉදිරි සති 3ක කාලය තුළ පූර්ණ කැපවීමකින් කටයුතු කිරීමේ අවශ්‍යතාවද මෙහිදී පෙන්වා දුන්නේය.


එමෙන්ම ජනාධිපතිවරයා දැනට කර ඇති වැඩකටයුතු සහ ආයතනික වාර්තා මෙන්ම මතු වී ඇති ගැටලු පිළිබඳ අදාළ කණ්ඩායම් සමඟ නිරන්තරයෙන් සාකච්ඡා කරමින් පූර්ව සුදානමකින් කටයුතු කිරීමේ වැදගත්කමද සාකච්ඡා කෙරුණි.


ජාත්‍යන්තර මූල්‍ය පද්ධතිය තුළ ශ්‍රී ලංකාවේ විශ්වාසනීයභාවය තහවුරු කෙරෙන මෙම තෙවන ඇගයීම් ක්‍රියාවලිය සාර්ථක කර ගැනීම රටක් ලෙස අද දවසේ කළ යුතුම කාර්යයක් බව වැඩිදුරටත් පෙන්වා දුන් ජනාධිපතිවරයා, ඒ වෙනුවෙන් සියලුම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ආයතනවල සක්‍රිය දායකත්වය අපේක්ෂා කරන බවද පැවසීය.


එමෙන්ම මෙම කටයුතු වෙනුවෙන් පසුගිය සමයේ කැපවීමෙන් කටයුතු කළ ශ්‍රී ලංකා මහ බැංකුව ඇතුළු සියලු පාර්ශ්ව වෙත ජනාධිපතිවරයා මෙහිදී කෘතවේදීත්වය පළ කළේය.


ඩිජිටල් ආර්ථික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඉංජිනේරු එරංග වීරරත්න, මහබැංකු අධිපති ආචාර්ය පී.නන්දලාල් වීරසිංහ, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රසල් අපොන්සු, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය හර්ෂණ සූරියපෙරුම, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් රවී සෙනෙවිරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 

More News..