ෆෝමියුලා 1 ඉතිහාසයේ ළාබාලතම ශූරයා බිහි වේ
03 November 2026
ෆෝමියුලා 1 ඉතිහාසයේ ළාබාලතම ශූරයා බිහි වේ
03 November 2026
මෙවර ෆෝමියුලා 1 මෝටර් රථ ධාවන ලෝක ශූරතාවේ මෙක්සිකෝහි පැවැති තරග අදියර නිමාවීමත් සමග වත්මන් ලෝක ශූරයා බවට පත්වීමට 20 හැවිරිදි ඉතාලි මෝටර් රථ ධාවක කිමී ඇන්ටොනෙලි ඊයේ (2 වැනිදා) සමත් වූ අතර ඔහු මෙම ශූරතාවට හිමිකම් කියූ ළාබාලතම මෝටර් රථ ධාවකයා ලෙසින් ද ඉතිහාසයට එක්විය.
මර්සිඩීස් කණ්ඩායම නියෝජනය කරමින් මෙවර තරගාවලිය සඳහා එක්වූ කිමී තරගාවලියේ ප්‍රසාද ලකුණු 380ක් හිමිකර ගනිමින් මෙවර ශූරතාවට හිමිකම් කීවේය. දෙවැනි ස්ථානය හිමි වූ නෙදර්ලන්ත මෝටර් රථ ධාවක මැක්ස් වර්ස්ටැපන් ප්‍රසාද ලකුණු 261කට හිමිකම් කීවේ කිමීට වඩා ලකුණු 119ක් පියුපසින් සිටිමිනි. ප්‍රසාද ලකුණු 259ක් ලබාගත් බ්‍රිතාන්‍ය මෝටර් රථ ධාවක ලුවිස් හැමිල්ටන් තුන්වැනි ස්ථානය හිමිකර ගත්තේය.
මෙම ශූරතාව දිනාගන්නා විට වයස අවුරුදු 20 දින 68ක් වූ කිමී විසින් මින් පෙර ශූරතාව හිමිකරගත් ලාබාලතම ධාවකයා ලෙස වාර්තා තබා සිටි සෙබස්තියන් වෙටල්ගේ වාර්තාව බිඳහෙළීමට සමත් වුයේය. වෙටල් 2010දී සිය ප්‍රථම ශූරතාව දිනාගන්නා විට ඔහුගේ වයස අවුරුදු 23 දින 134ක් විය.
ඊයේ පැවැති ධාවන වට 71කින් සමන්විත මෙක්සිකෝ තරගයේ ප්‍රථම ස්ථානය පැය 2 මිනිත්තු 20 තත්පර 28.772කින් නිම කළ මැක්ස් එහි ප්‍රථම ස්ථානය දිනාගත් අතර, ලුවිස් හැමිල්ටන් හට දෙවැනි ස්ථානය හිමිවද්දී කිමී එහි තෙවැනි ස්ථානයට පත් විය. එසේ වුවද කිමි මෙවර තරගාවලියේ මේ වන විට පැවැති අදියර 19න් 9කම ශූරතාව හිමිකර ගැනීමට සමත් ව තිබීම විශේෂත්වයකි. මැක්ස් මෙම අදියර ද සමග අදියර තුනක ශූරතාව දිනාගත් අතර ලුවිස් එක් අදියරක ශූරයා විය. ඔවුන්ට අමතරව කිමීගේ කණ්ඩායම් සගයා වන බ්‍රිතාන්‍ය ධාවක ජෝර්ජ් රසල් අදියර තුනක් ජය ගත්තේය.
කිමී මෙවර ශූරතාව දිනාගැනීමට අමතරව තවත් වාර්තා රැසකට හිමිකම් කීමට සමත්වීම ද විශේෂත්වයකි. වසර 2000න් පසු ඉපදුණු මෝටර් රථ ධාවකයෙක් විසින් ෆෝමියුලා ශූරතාව හිමිකරගත් ප්‍රථම අවස්ථාව මෙය වූ අතර, 2009 වසරෙන් පසු සිය ප්‍රථම තරගාවලියේ ජය ගැනීමට නොහැකිව දෙවැනි තරගාවලියේදී සමස්ත ශූරතාව හිමිකරගත් පළමු වැන්නා බවට කිමී පත්විය. එසේම තරග අදියරක් ජයගත් ලාබාලතම ධාවකයා ලෙසින් 2008 වසරේදී සෙබස්තියන් වෙටල් තබා තිබූ වාර්තාව මෙවර චීන ග්‍රෝන් ප්‍රී තරගාවලියේදී බිඳහෙළීමට ද කිමී සමත් වූයේය. තව ද ඉතාලි ග්‍රෝන් ප්‍රී තරගාවලිය ජයග්‍රහණය කළ ප්‍රථම ඉතාලි ජාතික ධාවකයා ලෙසින් ඉතිහාස ගත වීමට කිමී ඇන්ටොනෙලි මෙවර සමත් වීම කැපී පෙනුණි.
මෙවර තරගාවලියේ අවසන් තරග අදියර 3 වන බ්‍රසීල අදියර එළැඹෙන 6 වැනිදාත්, ලාස් වේගාස් අදියර එළැඹෙන 19 වැනිදාත් පැවැත්වෙන අතර තරගාවලියේ අවසන් මෙන්ම 22 වැනි අදියර වන අබුඩාබි ග්‍රෝන් ප්‍රී අදියර දෙසැම්බර් මස 4 වැනිදා ආරම්භ වීමට නියමිතය. එම අදියරවල ප්‍රථිපල මෙම ශූරතාවේ අවසන් තීරණයට බලපෑම් එල්ල නොකරයි.

