brand logo
logo
පනහ පැන්නත් මං තවම තුන් පිම්ම පනිනවා

පනහ පැන්නත් මං තවම තුන් පිම්ම පනිනවා

27 July 2026 | බියංකා නානායක්කාර

වසර 182 ක බන්ධනාගාර ඉතිහාසයේ ඉහළ නිලයන් එදා මෙදා තුර ලියැවුණේ පිරිමින්ගේ නමින්. ඉහළ තනතුරුවලට පත්වුණේත්, ඉහළ පුටුවල ඉඳගත්තේත් පිරිමින් විතරය. නමුත් ඒ ඉතිහාසය වෙනස් කරමින් ලංකාවේ මුල්වරට බන්ධනාගාරයේ ඉහළ නිලයකට නිලධාරිනියක් පත්වූවාය. ඒ, නව සහකාර බන්ධනාගාර අධිකාරි දිස්නා කාරියවසම්ය. මේ සාකච්ඡාව ලියැවෙන්නේ පිරිමින්ගේ ආධිපත්‍යය පැවති ක්ෂේත්‍රයක කාන්තාවක ලෙස අභියෝග මැදින් ඈ පැමිණි ගමන සහ දශක තුනකට වැඩි කාලයක් ඇය බන්ධනාගාර රාජකාරි ජීවිතයේ ලද අත්දැකීම් ගැනය.


අද බන්ධනාගාර ක්ෂේත්‍රයේ ඉහළ පුටුවකට පත්ව සිටියත් ඔබ මෙහි සේවයට එක්වන්නේ බන්ධනාගාර සේවයේ පහළම තනතුරකින්?


1994 අවුරුද්දේ නියාමකවරියක් විදිහට ගාල්ල දිස්ත්‍රික්කයෙන් තමයි මං බන්ධනාගාර සේවයට බැඳුණෙ. ඒ අවුරුද්දෙ ඔය සම්මුඛ පරීක්ෂණයට විශාල පිරිසක් ආවා. සාමාන්‍ය පෙළ, උසස් පෙළ එක්ක විශේෂයෙන් ක්‍රීඩා සහ තවත් කුසලතා බැලුවා. ගාල්ලේ සම්මුඛ පරීක්ෂණ දෙකක් සහ කොළඹ සම්මුඛ පරීක්ෂණ දෙකක් වශයෙන් සම්මුඛ පරීක්ෂණ හතරක් තියලයි අපිව තෝරගත්තෙ. කොහොම නමුත් එච්චර පිරිසක් අතරින් ගාල්ල දිස්ත්‍රික්කයෙන් මමයි, තව එක්කෙනෙකුයි විතරයි ඒ අවුරුද්දේ තේරුණේ.


බන්ධනාගාර ක්ෂේත්‍රය කාන්තාවන්ට ලේසි පහසු තැනක් නොවන බව දැන දැනත් ඔබ එවැනි ක්ෂේත්‍රයක් තෝරාගත්තේ ඇයි?


මගේ එකම බලාපොරොත්තුව වුණේ නීති විද්‍යාලයට ගිහින් නීතිඥවරියක් වෙන එක. මට විශ්වවිද්‍යාලයට යන්න ලකුණු 7ක් විතර මදි වෙනකොට වයස අවුරුදු 22ක් 23ක් වගේ කාලේ ඉඳන් මං රස්සාවලට ඉල්ලුවා. මං යුනිෆෝම් එකට බොහොම ආසා කරපු කෙනෙක්. ඒ හින්දා විශේෂයෙන් පොලිසියට බැඳීමේ ආසාවක් තිබුණා. මං පාසලේ ක්‍රීඩා බොහෝමයක් කරපු හින්දාත්, ජයග්‍රහණ අත්පත් කරගත්ත නිසාත් ශාරීරික අභ්‍යාස ගුරු විභාගයට, පොලිසියේ එස්.අයි. විභාගයට, පෙට්‍රෝලියම් එකට වගේම බන්ධනාගාර දෙපාර්තමේන්තුවටත් ඉල්ලුම්පත් යොමු කළා. ඒ අනුව තමයි බන්ධනාගාරයට බැඳෙන්නේ. අක්කලා තුන්දෙනෙකුට, අයියලා තුන්දෙනෙකුට බාල මං මේ වගේ රස්සාවකට යනවට අම්මා කැමති වුණේම නෑ. තාත්තා විතරයි මං බන්ධනාගාරයට යනවට කැමති වුණේ. අනික, ගම්වල බන්ධනාගාරයේ රස්සා කරන හැමෝටම කිව්වේ ‘ජේලර්’ කියලයි. මම හිතාගෙන හිටියෙත් මමත් යන්නෙ ජේලර් රැකියාවට කියලා. රැකියාවට ආවට පස්සේ තමයි දන්නෙ ජේලර්ට පහළ නියාමක කියන තනතුරටයි ආවෙ කියලා.


ඔබ බන්ධනාගාර කීපයක ඔය නියාමක තනතුරේ අවුරුදු ගණනාවක් වැඩ කරනවා?


1994 අවුරුද්දෙ ඉඳලා 2014 වෙනකම් අවුරුදු 20ක් නියාමක තනතුරේ හිටියා. එහෙම ඉන්න හේතුවක් තිබුණා. ඒ කාලේ නියාමකවරියන්ට උසස්වීම් ගන්න විභාගයක් තිබුණේ නෑ. චන්ද්‍රරත්න පල්ලේගම සර් බන්ධනාගාර කොමසාරිස් ජනරාල් වුණාම තමයි විභාග ක්‍රමය ඇති කළේ. 2014 පළමු ජේලර් විභාගයට ලියලා ලංකාවේ පළමු ජේලර්වරිය වුණා. ඊට කලින් නියාමක කාලේ ගාල්ල, මාතර, වැලිකඩ බන්ධනාගාරවල සේවය කළා. ඒ කාලේ ඉතින් අතිදුෂ්කර කාලයක්.


අති දුෂ්කර කාලයක් කිව්වෙ?


අපි රාජකාරි හැම දෙයක්ම කළා. ඒ කාලේ ආරක්ෂණ රාජකාරිවලට (නේවාසිකයන් උසාවිවලට ඉදිරිපත් කරන ගමන්) යන එක තමයි අමාරුම දේ. අද වගේ බන්ධනාගාරෙට ඒ කාලේ වාහන තිබ්බෙ නෑ. ඒ නිසා අපි ආරක්ෂණ රාජකාරිවලට ගියේ කෝච්චිවල.


ඇත්තටම මගීන් ගමන් ගන්න කෝච්චිවල එහෙම රැඳවියන් අරන් ගියේ කොහොමද?


අපි නේවාසිකයන්ව කෝච්චියේ මැද පෙට්ටියකට දාගන්නවා. කාන්තාවන්ට හෑන්ඩ් කප් දාන්නෙ නෑ. දෙන්නෙකුට වැඩිය නේවාසිකයින් ඉන්නවා නම් නිලධාරිනියන් දෙන්නෙක් යොදවනවා. නිලධාරියෙක් කොහොමත් අපි එක්ක එකතු වෙනවා. මගීන් අතරෙ එයාලව අරගෙන යෑම දුෂ්කර කටයුත්තක්. ඔය යන අතර සමහර අවස්ථාවල මේ අය කෝච්චියෙන් පැනලා ගිය අවස්ථා තියෙනවා. ඒ වගේ වෙලාවට නිලධාරී දෙන්නෙක් වගේ හිටියොත් ඊළඟ ස්ටේෂමෙන් එක්කෙනෙක් බැහැලා හොයනවා. එක්කෙනයි නම් ඉන්නේ අදාළ පොලිසියට දැනුම් දෙනවා. හැබැයි මගෙන් නම් එහෙම පැනලා ගිහිල්ලා නෑ.


ඔය විසි අවුරුදු නියාමක කාලේ සිර කුටි ඇතුළෙදි මුහුණ දුන්න විශේෂ සිද්ධි තියෙනවද?


එවැනි සිද්ධි තියෙනවා ඕන තරම්. ඒත් අදටත් තදින් මතකයේ තියෙන සිද්ධියක් මේක. එදා මම ගාල්ල බන්ධනාගාරයේ රාජකාරි කරපු දවසක්. බබෙක් හම්බ වෙන්න ඉන්න කාන්තාවක් හිටියා. එයාට හවස කිසියම් අමාරු තත්ත්වයක් ඇවිත් අනිත් නිලධාරිනියට කිව්වට එයා ගණන් අරන් නෑ. ඒ, සිර මැදිරි වහන වෙලාව. මට කිව්වා ‘අනේ නෝනා, මට අමාරුයි. මට දරුවො හතරක් ඉන්නවා. මේ පස්වැනි දරුවා’ කියලා. මං PH එකට කෝල් ගත්තා. ෆෝන් එක ඉස්සුවේ නෑ. වාට්ටුව භාර ජේලර් මහත්තයාට කතා කරලා කිව්වා එයත් ඒක එච්චර නොහිතා ගේට්ටු වහලා එන්නම් කිව්වා. අම්මා කෑගහනවා බබා එනවා කියලා. අනිත් අය බයවෙලා දිව්වා. මං එයා ගාව දණ ගහලා එයාගේ තට්ටම් දෙක යටින් අත දාලා අල්ලගෙන හිටියා. මගේ අත් දෙකට කළු බෝලයක් වැටුණා. ඒ බබා ඉපදුනේ මගේ අත් දෙක උඩ. මං අලුත් ටවල් එකක් ගෙන්නලා ඔතලා එහෙම අම්මගෙ උඩින් තිබ්බා. එතකොට ආව ජේලර් මහත්තයා මේක දැකලා කලබල වෙලා ඉක්මනටම වාහනයක් කතා කරලා දෙන්නාව මහමෝදර ඉස්පිරිතාලෙට යැව්වා අනිත් නියාමකවරිය එක්ක හිරගෙදර කිට්ටුවේ තමයි ඉස්පිරිතාලේ තියෙන්නේ. මාව ලේවලින් නෑවිලා හිටියේ. මටත් ඒ කාලේ අවුරුදු 26ක් වගේ. ඒත් ඒ වෙලාවේ කළ යුතු දේ කරපු නිසා, අම්මත් දරුවත් දෙන්නම බේරුණා.


අද ලංකාව පුරාම බන්ධනාගාරවල රැඳවියන් කොච්චරක් වගේ ඉන්නවද?


1700ක් වගේ ඉන්නවා. එයිනුත් 874ක් වගේ ඉන්නෙ රිමාන්ඩ් කට්ටිය. ඉතිරි කොටස තමයි අච්චු, නැත්නම් දඬුවම් ලබපු අය. ඔතැනිනුත් අද මගේ භාරයේ ඉන්නවා 1003ක් කාන්තා නේවාසිකයන්.


රැඳවියන් වැඩිපුරම සිරගත වෙන්නේ මොන වැරදිවලටද?


සියයට හැට අටක් විතර කාන්තාවන් මෙහෙ එන්නේ මත්ද්‍රව්‍ය වැරදිවලට. අයිස්, කුඩු ජාවාරම්, කුඩු විකුණන, කුඩු බොන අය. මුදල් වංචාවලට, මංකොල්ලකෑම්වලට. ඒ අතරෙ පාතාල කල්ලිවල පිරිමින්ගේ බිරින්දෑවරු, අනියම් බිරින්දෑවරුත් ඉන්නවා. ඉස්සර කාන්තා අංශයේ රැඳවියන් හිටියෙ විස්සක් විසිපහක් වගේ. ඒ කාලේ මේ තරම් කුඩුවලට ආවේ නෑ. රණ්ඩුවලට, කසිප්පු, අරක්කු කේස්වලට තමයි ඒ කාලේ කාන්තාවො වැඩිපුර බන්ධනාගාරගත වුණේ.


කාන්තා රැඳවියන් පාලනය කිරීම කාන්තා අංශයේ සේවය කිරීම අභියෝගාත්මක රාජකාරියක්ද?


බන්ධනාගාරයක කාන්තා අංශයේ රාජකාරි කරනවා කියන්නේ ඇත්තටම අභියෝගයක්. ප්‍රශ්නය පටන් ගන්නෙම එතැනින්. අධිකරණය මගින් කාන්තාවක් බන්ධනාගාරයට ගේනකොට ඇය එන්නෙ මානසික මට්ටම බිඳිලා ගිය අම්මා කෙනෙක් විදිහට. අම්මා කෙනෙක් බන්ධනාගාරයකට එනවා කියන්නේ එයාගෙ පවුල් සංස්ථාවම බිඳ වැටෙනවා. ඒ ආගමනයත් එක්ක අපිත් හැමදාම අභියෝග සහ පීඩන මැද ඉන්නෙ. සමහර අය ගර්භණී, සමහරු අවුරුදු 5ට අඩු දරුවො අරන් එනවා. සමහරු අසනීපයි. සමහර වෙලාවට පොලිසියෙන් අම්මා අරන් එනවා. තාත්තත් නෑ, දරුවො තනියම ගෙවල්වල. එතකොට අම්මගෙ මානසික තත්ත්වය වියරු වැටිලා. ඉතින් අපි ගොඩක් වෙලාවට පුනරුත්ථාපන ක්‍රමවලින් ඇගේ මනස හදනවා. ඒ එනකොට පළමුවෙන්ම ඇතුළත් වීමේ දේශනයක් කරනවා. මංමුලා වූ අයට, බන්ධනාගාරය තුළත් ජීවිතයක් තියෙනවා කියලා පෙන්වලා දෙනවා. අම්මා නැතුව ගෙවල්වල තනිවෙලා ඉන්න දරුවන්ටත් ඉක්මනටම විසඳුම් සපයනවා. ඉතින් මේ සියල්ල කළමනාකරණය කිරීමම අභියෝග ජයගැනීමක්.


ඔය කියන විදිහට බන්ධනාගාරයට එන හැම රැඳවියෙක්ම එසේ අනුකම්පාවක් ඉපදෙන අයද?


මෙතැනට එන සමහරු කතා කරන්නෙම නෑ. සමහරු ආබාධිත, සමහරු බයවෙලා. සමහරු එනවා ලිංගික විපර්යාස කරගත්ත අය. අනිත් හැමෝටම විසඳුමක් තිබ්බට සමහර වෙලාවට ඔය ලිංගික විපර්යාස කරගත්ත අය නිසා අපි ලොකු ගැටලුකාරී තත්ත්වයන්ට මුහුණ දෙනවා. සමහරු එන්නේ ඔය සැත්කම් බාගෙට කරගෙන. එතකොට ලිංගික අවයව තියෙනවා. බන්ධනාගාරේ වෛද්‍යවරයා මේගොල්ලෝ පරීක්ෂා කරනවා. අපිට භෞතික සම්පත් මදිකම හින්දා ඒ අය වෙනම දාන්න අමාරුයි. ඒ නිසා ඔය කොහේ හරි රඳවනවා.


නිල ඇඳුමින් වැසී ගියාට ඔබට ඇත්තේ අම්මා කෙනෙක්ගේ හදවතක්. ඔවුන්ගේ කතාවලට හිත උණු වෙනවද?


කාන්තාවක් බන්ධනාගාරයට ආවම, රැකියාව නෑ, ස්වාමියා නෑ, දරුවෝ නැති වෙනවා. කොටින්ම පවුලක් නෑ. සමහර විට අතේ සතේම නඩුවලට වියදම් කරලා හෙම්බත් වුණ කෙනෙක්. ඊට වඩා මෙහෙ එනකොට නම නැතිවෙනවා, ඇඳුම නැතිවෙනවා, ඉතිරි වෙන්නෙ අංකයක් විතරයි. ඔය හැම කෙනකුටම ශෝචනීය කතා තියෙනවා. මම ඔය හැමෝගෙම කතා අහනවා. ප්‍රධාන ජේලර්ව හිටපු කාලේ. ලොකුවටම පපුව උණු වෙන්නෙ දරුවො ඉන්න අම්මලාගේ අවුරුදු පහ සම්පූර්ණ වෙන දරුවන් ඇතුළෙ තියාගන්න බැරි නිසා වෙන්කරන කොටයි. දරුවා බාර දෙන්න පවුලෙ කෙනෙක් නැත්නම් ළමා නිවාසයකට දාන්නෙ. ඒ දරුවා අඳුරන්නෙ අම්මා විතරයි. ඉතින් ඔය ක්‍රියාවලියේදි අම්මත් අඬනවා, දරුවත් අඬනවා. නොපෙන්වූවාට අපිත් අඬනවා. රිමාන්ඩ් එන ගෑනු කෙනකුට නඩු අහලා මරණ දඬුවම ලැබුණාම එදාටත් හරිම ශෝචනීයයි. යුනිෆෝම් ඇන්දට අපිත් අම්මලානේ.


ඔය විදිහට බලනකොට අපේ රටේ කාන්තාවන් බන්ධනාගාරගත වීම ලොකු ප්‍රශ්නයක්?


ඇත්තටම ඔව්. වැරදි කළ කාන්තාවන් බන්ධනාගාරගත කිරීම නෙවෙයි කරන්න ඕන. දණ්ඩ නීති සංග්‍රහයේ විෂය පථය පටු වීම නිසා තමයි සමාජ ගැටුම් වාගේ සාමාන්‍ය වැරදිවලටත් කාන්තාව බන්ධනාගාරගත කරන්නේ. මම දකින්නේ ඒවට සිවිල් ප්‍රතිකාරාත්මක දඬුවම් ක්‍රමවලට යනවා නම් හොඳයි කියලයි. අත්හිටවූ සිරදඬුවමක් ලබා දුන්නම ඒක අතේ පත්තු වෙන බෝම්බයක් කියලා දන්න හින්දා ඒ කෙනා ආයෙ වරදක් කරන්නෙ නෑ. නියම කරපු තැනක ඇය වැඩට ගිහින් ගෙදර එනවා. වැඩ කරනවට මුදලක් ගෙවන්නෙ නෑ. එහෙම වුණොත් පවුල රැකෙනවා. අම්මා නැතුව සමස්ත පවුල් පද්ධතියම කඩා වැටෙනවා වගේම, අම්මා වරදකට අරන් ආවම, ඊට පස්සෙ පුතා ඒ දේ කරනවා. පුතා ගෙනාවම දුව කරනවා. දුව අරන් ආවම මිනිබිරී කරනවා. ඔක්කොම ඇතුළේ. පුවක් ගෙඩියක්, අඹ ගෙඩියක්, පොල් ගෙඩියක් හොරකම් කළා කියලා ඇවිත් එකම වාට්ටුවක ඉඳලා යන්නෙ ජාවාරම්කාරයන්ගෙ අතකොළුවක් වෙලා වෙන්න පුළුවන්.


ඔබ කාන්තා අංශය ධර්මයෙනුත් පාලනය කරනවා කියලා දැන ගන්න ලැබුණා?


මම ධර්මයට ළැදියි. ධාර්මිකව ජීවත් වෙන කෙනෙක්. උදේ 6.00 සිරමැදිරි ඇරලා කෑම දීලා 8.30 වෙනකම් ආයෙ වහනවා. ඒ කාලය මං පට්ඨානය සූත්‍රයත් බුද්ධානුස්සති භාවනාවත් එයාලට අහන්න දානවා. ඒක හැමදාම කරන දෙයක්. ඊට පස්සෙ තමයි වැඩ පටන් ගන්නෙ. ලංකා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ අපි විතරයි මෙහෙම කරන්නේ. මම ඒ දේ කරන්නේ මේ නේවාසිකයන්ට යහපතක් වෙන්න ඕන කියලයි. අපිට එයාලා වෙනුවෙන් කරන්න පුළුවන් තව ලොකුම උදව්ව තමයි හොඳ සවන්දෙන්නෙක් වීම. මෙතැනට ආවට පස්සෙ එයාලට කතා කරන්න, ප්‍රශ්න කියන්න ඉන්නෙ අපි විතරයි.


ලංකාවෙ පළමු වතාවට පිරිමි රාජකාරි කරපු පුටුවකට ගිය ඔබට නව තනතුරේ ඇති රාජකාරි?


මං ප්‍රධාන ජේලර්වරිය හැටියට හිටියෙ වැලිකඩ කාන්තා අංශය භාරවයි. 1003ක් කාන්තා නේවාසිකයන් මං බලාගත්තා. සහකාර අධිකාරිවරිය විදිහටත් මට කාන්තා අංශය භාරයි. ඒ එක්කම මේ තනතුරේදී රැඳවියන්ගෙ සිරමැදිරිවල දොරවල්, තාප්ප, වැටවල් වැනි භෞතික ආරක්ෂාවේ තත්ත්වය ගැනත් දැනගන්න ඕන. බන්ධනාගාරය ඇතුළෙ අපරාධ කල්ලි ඉන්නෙ. ඒ හින්දා සැලැස්මක්, දැක්මක් තියෙන්න ඕන. අපරාධ කල්ලි සැලසුම් කළ අපරාධ කරන්නෙ කොහොමද කියලා, ඒ වගේම අණපනත්, චක්‍රලේඛන, දෙපාර්තමේන්තු නිත්‍ය නියෝග අනුව කොහොමද නිලධාරීන් හසුරුවන්නේ, කොහොමද නේවාසිකයන් හසුරුවන්නේ කියන දැනුමත් ඇති කරගන්න ඕන. නිලධාරීන් විදිහට හොඳ අධ්‍යාපනයක්, දැනුමක්, ආකල්ප, ශරීර ශක්තියක් ඇති කොටස් තෝරාගන්න ඕන. යම්කිසි සිද්ධියකදි සැලසුම් සහගත අපරාධ කරන අයගෙන් නිලධාරීන් හා නේවාසිකයන් බේරාගන්න පුළුවන් වෙන්නේ එවන් අයටයි.


ගාල්ලෙ හිටපු ඔබේ ජීවිතේ මෙවැනි හැරවුම් ලක්ෂ්‍යයක් ඇති වුණේ කොළඹට ආ නිසාද?


ඒක ලොකු කතාවක්. මං ගාල්ල බන්ධනාගාරයේ අවුරුදු 13ක් විතර වැඩ කළා. මාතර බන්ධනාගාරයෙත් පොඩි කාලයක් වැඩ කළා. මගෙ ලොකු පුතා රිච්මන්ඩ් විද්‍යාලයෙන් ශිෂ්‍යත්වෙ ලියලා ලංකාවෙන් 6 වැනියා වුණා. එයා කොළඹ රාජකීය විද්‍යාලයට තේරුණා. පුතා විභාගේ පාස් වුණාට වෙන තෑග්ගක් ඉල්ලුවේ නෑ. ඉල්ලපු එකම තෑග්ග කොළඹ රාජකීය විද්‍යාලයට යන්න ඕන කියන එකයි.


ඔබේ ජීවිත කතාවේ ඒක තීරණාත්මක සිදුවීමක් ව​ගේ?


මං විවාහ වෙලා ඉන්නෙත් බන්ධනාගාර සැරයන් කෙනෙක් එක්ක. එයා ඩී. ඩික්සන්. මහත්තයාගේ ගම අහංගම, මගේ ගම දොඩන්දූව. අපි දෙන්නම පුතත් එක්ක මූලස්ථානයට ඇවිත්, ඒකාලේ හිටපු කොමසාරිස් ජනරාල් සර්ගෙන් මාරුවක් ඉල්ලුවා. එතකොට හිටියෙ මේජර් ජනරාල් වජිර විජේගුණවර්ධන සර්. ඒ වෙලාවේ ක්වාටර්ස් නෑ කියලා මාරුවීම දෙන්න බෑ, ගාල්ලෙම වැඩ කරන්න කිව්වා. අපි කොළඹ එන්න හේතුව ඒ වෙලාවෙ කිව්වා. එයා කිව්වා රිච්මන්ඩ් කියන්නෙ හොඳ ඉස්කෝලයක්නේ, පුතාව එහෙ තියලා උගන්වන්න කියලා. අද පුතා ආවද ඇහුවා. ඔව් කිව්වාම අපිව එළියෙන් තියලා පුතා ඇතුළට අරන් පැය භාගයක් විතර එයා එක්ක කතා කරලා තෑගි පාර්සලයකුත් පුතාට දීලා, අපි දෙන්නට මාරුවීම අනුමත කරලා දුන්නා.


එකපාරටම එහෙම තීරණය වෙනස් වෙන්න පුතා මොකද කියලා තියෙන්නේ?


විස්තර අහලා, ඇයි රාජකීය විද්‍යාලයට එන්නම ඕන ඇහුවම එයා කිව්වලු මට හොඳ දොස්තර කෙනෙක් වෙන්න ඕන කියලා. ඇත්තටම මට අද සතුටුයි. පුතා එයාගේ අරමුණට ගියා. ලොකු පුතා රවිඳු ගිම්හාන්. එයා අද වෛද්‍යවරයෙක්. අපේ බාල පුතා චනුක සංදින. ඔහුත් රාජකීය විද්‍යාලයෙන්ම විභාගෙ පාස්වෙලා අද වෛද්‍ය විද්‍යාලයට සුදුසුකම් ලබලයි ඉන්නේ.


ඔබ කොළඹ ආවට පස්සෙ වෘත්තියට අදාළ දේවල් හැදෑරුවද?


මං වැලිකඩට ආවම ජේලර් වනතුරු කාර්යාලයීය රාජකාරි කළේ. ‌​ෙජ්ලර් වුණාට පස්සේ බන්ධ පොලිසියෙත් වැඩ කළා ඒ කාලෙ මම මනෝ උපදේශන සේවාව ඩිප්ලෝමාවත්, උසස් ඩිප්ලෝමාවත් කළා. කැලණිය විශ්වවිද්‍යාලයෙන් පුනරුත්ථාපනය හා විශෝධනය ඩිප්ලෝමාව හා උසස් ඩිප්ලෝමාව කළා. කොළඹ විශ්වවිද්‍යාලයෙන් මානව හිමිකම් පිළිබඳ ඩිප්ලෝමාවත්, ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් අපරාධ විද්‍යාව පිළිබඳ ඩිප්ලෝමාවත් කළා.


ඔබ පාසල් කාලයේ දක්ෂ ක්‍රීඩිකාවක් වගේම අදටත් හොඳ ක්‍රීඩිකාවක්?


දොඩදුව රෝහණ බාලිකාවට ගිය 87, 88, 89 ජිම්නාස්ටික් රන් පදක්කම් ලැබුවා. දුර පැනීම, දැල් පන්දු, තුන් පිම්ම ක​ෙළ් බන්ධනාගාරේට ඇවිල්ලා ප්‍රවීණයන්ගේ මලල ක්‍රීඩා ඉසව්වෙන් තුන් පිම්ම රන් පදක්කම දිනුවා. ආසියානු ක්‍රීඩා තරගයේ රාජ්‍ය සේවා හෙල්ල විසි කිරීමේ දක්ෂතම ක්‍රීඩිකාව වුණා. අදටත් මං ක්‍රීඩා කරනවා. අවුරුදු පනහ පැන්නත් තවමත් මීටර් 4ක් දුර පනිනවා. තුන් පිම්ම මීටර් 8ක් පනිනවා.

 

More News..