Best News Website award
brand logo
logo
ගංගා කිහිපයක සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

ගංගා කිහිපයක සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

13 November 2026

නිල්වලා සහ ගිං ගංගාවල ඇතැම් ප්‍රදේශවල පවතින සුළු ගංවතුර තත්ත්වය තවදුරටත් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.


එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පසුගිය දිනවලට සාපේක්ෂව වර්ෂාපතනයේ යම් අඩුවීමක් දක්නට ලැබුණද, නිල්වලා ගඟ ඉහළ ප්‍රදේශයේ ස්ථාන කිහිපයකට පසුගිය පැය 24 තුළ මිලිමීටර් 75ත් 100ත් අතර වර්ෂාපතනයක් ලැබී ඇති බවය.


එමෙන්ම මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශවලට මිලිමීටර් 50ත් 75ත් අතර වර්ෂාපතනයක්ද, මහ ඔය ඉහළ ප්‍රදේශයට මිලිමීටර් 50කට ආසන්න වර්ෂාපතනයක්ද ලැබී තිබේ.

නිල්වලා ගඟේ අකුරැස්ස සහ ඊට පහළ ප්‍රදේශවල තවදුරටත් සුළු ගංවතුර මට්ටමක් පවතින අතර, ගිං ගඟේ පහළ ප්‍රදේශයේ පත්තිගම සහ ඒ ආසන්න ප්‍රදේශවලද එම තත්ත්වය පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.


එම ප්‍රදේශවල ජල මට්ටම්වල විශාල වැඩිවීමක් මේ වන විට පෙන්නුම් නොකළද, පහත් බිම් ඇතැම් ස්ථාන ජලයෙන් යටවීමේ අවදානම තවදුරටත් පවතී.


කළු ගඟේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් අඩුවෙමින් පවතින අතර, මිල්ලකන්ද සහ ඒ ආසන්න ප්‍රදේශවල ජල මට්ටම් තවදුරටත් සුළු ගංවතුර මට්ටමට ආසන්නව පවතින බවද සඳහන් වේ.


කැලණි ගඟ, අත්තනගලු ඔය සහ මහ ඔයේ ජල මට්ටම්ද ක්‍රමයෙන් පහළ යමින් පවතින අතර, මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශවල ජල මට්ටම් අනතුරුදායක ලෙස ඉහළ යාමක් පෙන්නුම් නොකරයි.

කෙසේ වෙතත්, නිල්වලා සහ ගිං ගංගා ඇතුළු තෙත් කලාපයේ අනෙකුත් ගංගාවල ජල මට්ටම් ඉහළ අගයක පවතින බැවින්, ඉදිරියේදී ලැබෙන වර්ෂාපතනය අනුව ඒවායේ ජල මට්ටම් ක්ෂණිකව ඉහළ යා හැකි බවටද අනතුරු අඟවා තිබේ.

විශේෂයෙන්ම කෙටි කාලයක් තුළ අධික වර්ෂාපතනයක් ලැබීමේ හැකියාව පවතින බැවින්, ගංගා ආශ්‍රිත පහත් බිම්වල ජනතාව ඒ පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

එමෙන්ම ජලාශවල ජල මට්ටම් අනුව වාන් දොරටු විවෘත කිරීමේ තත්ත්වයන් වෙනස් විය හැකි බැවින්, අදාළ ආයතන නිකුත් කරන නිල නිවේදන පිළිබඳව අවධානයෙන් පසුවන ලෙසද වැඩිදුරටත් දැනුම් දී තිබේ.

 

More News..