ශ්රි ලංකා ගුවන් හමුදා 75වන සංවත්සරය වෙනුවෙන් බෞද්ධ ආගමික පූජෝත්සවය මහනුවර ශ්රී දළදා මාළිගාවේදී
24 October 2026
ශ්රි ලංකා ගුවන් හමුදා 75වන සංවත්සරය වෙනුවෙන් බෞද්ධ ආගමික පූජෝත්සවය මහනුවර ශ්රී දළදා මාළිගාවේදී
24 October 2026
ශ්රි ලංකා ගුවන් හමුදා 75 වන සංවත්සරය වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ බෞද්ධ ආගමික පූජෝත්සවය 2026 ඔක්තොබර් මස 22 හා 23 යන දිනයන්හි දී මහනුවර ශ්රී දළදා මාළිගාවේදී ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතාගේ සහ ගුවන් හමුදා සේවාවනිතා එ්කකයේ සභාපතිනී ක්රීෂාන්ති එදිරිසිංහ මහත්මියගේ සහභාගිත්වයෙන් පැවැත්විණ.
ගුවන් හමුදාපතිතුමන් 2026 ඔක්තොබර් මස 22 වන දින පස්වරුවේ මල්වතු මහා විහාරයට පැමිණ මහා විහාර වංශික ශ්යාමෝපාලි මහානිකායේ මල්වතු මහ විහාර පාර්ශ්වයේ මහනායක අතිගෞරවනීය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගැනීමෙන් අනතුරුව අස්ගිරි මහ විහාරයට පැමිණ මහා විහාර වංශික ශ්යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක අතිගෞරවනීය වරකාගොඩ ධම්මසිද්ධි ශ්රි පඤ්ඤානන්ද ඤාණරතනාභිධාන මාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබාගත්තේ ය.
ඉන් අනතුරුව ශ්රී දළදා මාලිගාව වෙත පැමිණි ගුවන් හමුදාපතිතුමන් ශ්රී දළදා වහන්සේ උදෙසා ගිලන්පස පූජාවක් සිදු කර ආශීර්වාද ලබාගත් අතර, දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා ද හමුවිය. පසුදින ගුවන් හමුදා 75 වන සංවත්සරයට සමගාමීව සේවා පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් භික්ෂූන් වහන්සේලා 75 නමක් වෙනුවෙන් අෂ්ටපරිෂ්කාර සහිත සාංඝික දානමය පින්කමක් ද පවත්වන ලදී.
මෙහිදී ශ්රී දළදා මාලිගාවේ ආරක්ෂාව වෙනුවෙන් ගුවන් හමුදාව මගින් යොදවා ඇති ගිනි නිවාරණ කණ්ඩායම, රථ සහ උපකරණ ද ගුවන් හමුදාපතිතුමන්ගේ නිරීක්ෂණයට ලක් විය.
ගුවන් හමුදා සුභසාධක අධ්යක්ෂකය විසින් සංවිධානය කරනු ලැබූ මෙම බෞද්ධ ආගමික පූජෝත්සවයේ දී තම මාතෘභූමියේ ඒකීයභාවය හා භෞමික අඛණ්ඩතාවය උදෙසා දිවි පිදූ ගුවන් හමුදා රණවිරුවන් වෙනුවෙන් පුණ්යානුමෝදනා සිදු කිරීමේ හා සක්රිය සේවයේ යෙදී සිටින ගුවන් හමුදා සේවා පුද්ගලයින්හට මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් හට ආශිර්වාද කිරීම ද සිදු කරන ලදී.
මෙම අවස්ථාව සඳහා ගුවන් හමුදා අධ්යක්ෂ මණ්ඩලයේ නිලධාරීන්, ගුවන් හමුදා ජ්යෙෂ්ඨ නිලධාරීන්, සෙසු නිලයන් හා මියගිය ගුවන් හමුදා රණවිරු පවුල්වල සාමාජිකයින් පිරිසක් ද සහභාගි වූහ.

