brand logo
logo
චතුරංග කලබලයක් නැති සන්සුන් කෙනෙක් -දුෂේනි මියුරංගි

චතුරංග කලබලයක් නැති සන්සුන් කෙනෙක් -දුෂේනි මියුරංගි

12 October 2026 | ලක්ෂාන් ජයසූරිය


මේ දිනවල ජහුටා ටෙලිනාට්‍යයේ හංසයා සහ සමාධි අතර අමුතු ප්‍රේමයක් තිබෙනවා. ඒ දේවල් මැද්දේ පසුගිය සඳුදා හංසයා සහ සමාධි පෝරාමස්තකව හිඳිනු බොහෝ දෙනාට දැකගත හැකිවුණා. බොහෝ දෙනා හිතුවේ හංසයා සමාධිව බැඳලා කියලා. මීට කලිනුත් පාර දිගේ ටෙලිනාට්‍යයේ සරණි සහ රොහාන්ගේ මංගල උත්සවයේ ඡායාරූප දුටු බොහෝ දෙනා හිතුවේ ඔවුන් ඇත්තටම විවාහ වෙලා කියලා.


නමුත් මේ පාර නම් කතාව ඇත්තටම සිද්ධ වෙලා. හංසයා ලෙස රඟපාන චතුරංග කොඩිතුවක්කු සහ සමාධි ලෙස රඟපාන දුෂේනි විවාහ වෙලා. ඔවුන්ගේ ආදරණීය විවාහයට පිනිපලස සුබපැතුම් එක්කරන විට දුශේනි ඒ සුබපැතුම් ආදරයෙන් පිළිගත්තා.


දුශේනිට චතුරංගව මුලින්ම හම්බවුනේ කොහොමද ?


චතුරංගයි මමයි මුලින්ම හම්බවුණේ ජහුටා ටෙලිනාට්‍යයෙදි. අපි දෙන්නා මුණගැහිලා ඒ තරම් ලොකු කාලයක් නැහැ⁣. හැබැයි ඒ කෙටි කාලෙ ඇතුළත මට තේරුම් ගියා එයාට මාව තේරෙනවා, මට එයාව තේරෙනවා කියලා.


චතුරංග ගැන ආදරයක් ඇතිවෙන්න හේතුව මොකක්ද ?


චතුරංග එච්චර කලබල නැති හරිම සන්සුන් පුද්ගලයෙක්. ඉතින් මම ආස වුණේ එයාගේ ඒ සන්සුන් ගතිගුණවලට. එයාගේ සාමකාමී ගතිගුණවලින් මට දැනුනෙ නිස්කලංක හැඟීමක්. ඒ විදිහට තමයි මට එයා ගැන පැහැදීම ඇතිවුණේ. ඉතින් ඒ පැහැදීමත් එක්කයි අපි ආදරවන්තයො වෙන්න තීරණය කෙරුවෙ.


දුශේනි ප්‍රසිද්ධ නිළියක්. චතුරංග ප්‍රසිද්ධ නළුවෙක්. මේ සුසංයෝගය දෙන්නගේ බැඳීමට බලපාලා තියෙන්නෙ කොහොමද ?


රංගන ජීවිතයේදි එයා බබළන වෙලාවක් තියෙනවා. මම බබළන වෙලාවක් තියෙනවා. එහෙම කොයි වෙලාවකවත් එයා මගේ ජනප්‍රියත්වය උදුරගන්න උත්සාහ කරන්නේ නැහැ⁣ සහ මම එයාගේ ජනප්‍රියත්වය උදුරගන්න උත්සාහ කරන්නේ නැහැ⁣.


මම චතුරංගව තෝරගන්න තවත් විශේෂ දෙයක් තමයි එයාගෙන් මට දැනෙන සහයෝගය. ඒ කියන්නේ කාන්තාවක් විදිහට රැකියාවක් කරනකොට විශේෂයෙන් කලා ක්ෂේත්‍රයේ, අපිට අපේ සහකරුවාගෙන් බාධා එල්ලවෙන්න පුළුවන්. ඒක බොහොම සාධාරණයි. හැබැයි, එතනදී තමයි අපිට තේරුම් ගැනීම කියන එක සහකරුවාගෙන් ගොඩක් අවශ්‍ය වෙන්නේ. ඉතින් මම චතුරංගගෙන් දැකපු ලොකුම දේ තමයි සහයෝගය.


දෙමාපියෝ අවුරුදු ගාණක් තිස්සෙ අපිව හදලා, අපේ හීනවලට අරගෙන ගිහිල්ලා අන්තිමට අපිට කසාදයක් බන්දලා දෙන්නේ ඒ හීන ඔක්කොම අතහැරලා ගෙදර නතර වෙන්න නෙවෙයිනේ. පවුල් ජීවිතයට මූලික තැනක් දෙන්න ඕන නැහැ⁣ කියලා නෙමෙයි මම අදහස් කරන්නෙ.


මම කියන්නේ සමබර වෘත්තිය ජීවිතයක් සහ පවුල් ජීවිතයක් කාන්තාවට තියෙන්න ඕන කියලා. හැබැයි ඒ දෙක සමබර කරන්න කාන්තාවට ලැබෙන සහකරුවා වැදගත් වෙනවා කියලා මම විශ්වාස කරනවා. එයා මාව තේරුම් අරගෙන, මට බබළන්න ඉඩ දෙන කෙනෙක් නම් මගේ ජීවිතය සාර්ථක වෙනවා. එහෙම නැති වුණොත්, අර දෙමාපියෝ අවුරුදු ගානක් හදලා ගොඩනගලා දීපු ඒ light එක ඔක්කොම dim වෙලා, එහෙම්මම බිමට පතිත වෙනවා. ඉතින් ඒ නිසා කාන්තාවකට ලැබෙන්න ඕන වෘත්තීය ජීවිතය ගතකරගෙන යන්න ඉඩදෙන පවුල් ජීවිතයක් සතුටින් ගතකරන්න පුළුවන් පිරිමියෙක්ව. මම හිතනවා ඒ විදිහෙ පිරිමියෙක්ව මට ලැබුණ එක වාසනාවක් කියලා.


ඉක්මනින් විවාහවෙන්න තීරණය කෙරුවෙ ඇයි ?


අපේ පෞද්ගලික ජීවිතයේදි විවාහය කියන step එකට අපි යන්න ඕන. ඒක නිසා අපි දෙන්නා විවාහවෙන්න තීරණය කළා. මේ වෙද්දි අපි දෙන්නා වෘත්තීය ජීවිතයේ peak එකේ ඉන්නෙ. ඉතින් එහෙම වෙලාවට දෙන්නෙක් එකතු වුණහම ඒ brand එක තවත් powerful වෙනවා. ඒවගේ උදාහරණ ලංකාවේ ඉන්නවා. ඉතින් ඒ ගැනත් අපි සැලකිලිමත්වෙලයි මේ මොහොතෙදි විවාහ වෙන්න තීරණය කෙරුවෙ.


විවාහ වුණ නිසා රසිකයන්ගේ ආදරය අඩුවෙයිද ?


මගේ පෞද්ගලික ජීවිතය ගැන උනන්දුවෙන අයට වඩා මම රගපාන නිර්මාණවලට ආදරය කරන රසිකයො පිරිසක් මට ඉන්නෙ. රංගන ක්ෂේත්‍රයට ආපු මුල ඉඳලයි මම ඒක හදාගත්තෙ. මම පෞද්ගලික ජීවිතය සමාජ මාධ්‍යවල දිග අරින්නේ ගොඩක් අඩුවෙන්. හැබැයි සමහර තැන්වලදි මම ගැන සමහර දේවල් මිනිස්සු දැනගත්තා. ඒ වුණත් ඒ දේවල්වලට වඩා නිර්මාණවලදි මම කරන රඟපෑමටයි මිනිස්සු ආදරය කෙරුවෙ. ඉතින් ඒ නිසා ඉස්සරහටත් මගේ රඟපෑමට රසිකයො ආදරය කරයි කියන විශ්වාසය මට තියෙනවා. චතුරංගටත් ඒ විදිහටම රසික ආදරය නොවඩුව ලැබෙයි කියලා මම හිතනවා. ඒ ගැන අපි විශ්වාසයක් තියාගෙනයි විවාහ වෙන්න තීරණය කෙරුවෙ.


චතුරංගට ඉදිරියෙදි ප්‍රේම ජවනිකා දුශේනි එක්ක විතරක් රඟපාන්න වෙයිද?


කීයටවත් නැහැ⁣. එයාට ඕන තරම් නිදහස දෙනවා ඕනෑ දෙයක් කරන්න. චතුරංග දන්නවා එයාගේ සීමාව. එයා දන්නවා මම එයාගෙන් අවංකකම බලාපොරොත්තු වෙනවා කියලා.

රඟපානවා කියන්නේ අපේ job එකනෙ. එයා ඒ job එක කරලා ගෙදර එනවා නම් එතැනින් එහාට මට කිසිම ගැටලුවක් නැහැ. අවංක නැති වුණොත් ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි මම දන්නවා එයා හරි අවංක මනුස්සයෙක් කියලා. අපි දැනගන්න ඕනේ අපේ පවුල රැකගන්න.


ඒක job එකකින්වත් තවත් තුන්වෙනි පාර්ශවයකින්වත් සිද්ධ වෙන දෙයක් නෙමෙයි. ඒක අපි දෙන්නා අතර තියෙන දෙයක්. ඉතින් මට කිසිම ගැටලුවක් නැහැ චතුරංග වෙනත් නිළියො එක්ක රඟපෑවට. චතුරංගට පූර්ණ නිදහස තියෙනවා එයාගේ වැඩකටයුතු කරගන්න.


රටම කතාවෙන දුශේනිගෙයි චතුරංගගෙයි wedding එක සැලසුම් කෙරුවෙ කොහොමද ?


අපේ wedding එක ඔක්තෝබර් 5 වැනිදා එක උත්සවයකිනුත් ඔක්තෝබර් 12 වැනිදා තවත් උත්සවයකිනුත් පවත්වන්න අපි තීරණය කළා. නලින්ද බුලත්සිංහල අයියා තමයි මේ event දෙකම සැලසුම් කෙරුවෙ. ඇත්තටම මට ඕන වුණේ එක දවසෙන් සම්පූර්ණ විවාහ උත්සවයම ගන්න. නමුත් ඉතින් අමුත්තො වැඩි නිසා නලින්ද අයියා තීරණය කළා event දෙකකට කඩන්න. ඉතින් අපි පළවෙනි දවසෙ පෝරුවෙ චාරිත්‍ර කළා. විවාහ වෙද්දි මාල හත දාලා තැලිපිළි ඇදලා උඩරට මනාලියක් විදිහට සැරසෙන්න ඉස්සර ඉදලා මගේ හිතේ ආසාවක් තිබුණා. ඉතින් උඩරට මනාලියක් විදිහට මම සැරසිලා පෝරුවට නැගලා චතුරංග එක්ක විවාහ ජීවිතයට පිවිසුනා. දෙවැනි දවස අපි සැලසුම්කරලා තියෙන්නෙ western විදිහට. ඒ විදිහට තමයි ඉතින් උත්සව දෙකම plan කෙරුවෙ.


දුශේනියි චතුරංගයි දැන් එක පවුලක්. පවුල් ජීවිතය ගතකරන්න දැන් සියලු දේවල් සැලසුම්කරලද තියෙන්නෙ ?


ඔව්. අපිට පුළුවන් විදිහට අපේ දේවල් අපි සැලසුම් කරගත්තා. අපි දෙන්නට ගෙවල් දෙකක් තියෙනවා. ඒ ගෙවල් දෙකෙන් එක ගෙදරක් අපිට ජීවත්වෙන්න ලෑස්ති කරා. තවම ඒ ගෙදරට අපි ගියෙ නැහැ⁣. විවාහ උත්සවය ඉවර වුණාට පස්සෙ චාරිත්‍රානුකූලව කිරි උතුරවලා ගෙදරට ගෙවිදින්න ලෑස්තිවෙලා අපි ඉන්නෙ.


ජීවිතයේ ඇතිවුණ වෙනස ගැන අදහස මොකක්ද ?


මගේ ජීවිතය open book එකක්. මිනිසුන්ට මාව පේනවා. මගේ ජීවිතයේ කඩා වැටීම්, උස් පහත්වීම්, පවුල් ජීවිතය, මගේ රැකියාවේ හැම දේම මිනිස්සු දන්නවා. ඉතින් මට තියෙන එකම වාසනාව, මට තියෙන එකම සන්තෝෂය ඒ මිනිස්සු මගෙත් එක්ක මගේ කඩා වැටීම්වලත් මම නැගිටින තැන්වලත් හිටියා. ඉතින් මගේ ජීවිතයේ ලොකුම දවසෙදි ඔයාලටත් සතුටු වෙන්න පුළුවන් කියලා මම හිතනවා. ජීවන ගමනේ අලුත් අඩියක් මම මේ තියන්නෙ. ඒ ගැන මට සතුටුයි. ජීවිතය ඉදිරියට කොහොම කොයි පැත්තට ගලාගෙන යයිද කියලා මම දන්නෙ නැහැ⁣ . හැබැයි මාත් එක්ක මෙච්චර කාලයක් හිටපු රසිකයො හැමෝටම අවංකවම මම හරිම ආදරෙයි. ඔයාලා ඉස්සරහටත් මාත් එක්ක මගේ ජීවිතය බෙදාගන්න ඉඳී කියලා මම හිතනවා. 

 

More News..