රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යයි
05 May 2026
රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා දිවයිනෙන් පිටත්ව යයි
05 May 2026
රුසියානු සමූහාණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍ය මිහායිල් මුරාෂ්කෝ (Mikhail Murashko) ඇතුළු නියෝජිත පිරිස තෙදින නිල සංචාරය සාර්ථකව නිම කර අද (05) උදෑසන දිවයිනෙන් පිටව ගියේය.
ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම අරමුණු කරගත් මෙම සංචාරය අවසන් වීමේදී, නියෝජිත පිරිසට සමුදීම සඳහා සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි මහතා සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාත්‍යන්තර සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය අනිල් සමරනායක මහතා එක්ව සිටියහ. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති Levan Dzhagaryan මහතා ද මෙම අවස්ථාවට සහභාගී විය.
සංචාරය තුළදී රුසියානු සෞඛ්‍ය අමාත්‍යවරයා සහ නියෝජිත පිරිස, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා සමග විශේෂ සාකච්ඡාවකට ද එක්වූහ. එහිදී ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සහයෝගිතාවය තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව අවධානය යොමු කෙරිණි.
විශේෂයෙන් මෙරට ප්‍රාථමික සෞඛ්‍ය සේවාව සංවර්ධනය, කෘතිම බුද්ධි (AI) ඇතුළු නවීන තාක්ෂණය සෞඛ්‍ය සේවාවට ඒකාබද්ධ කිරීම සහ ඩිජිටල් සෞඛ්‍ය ක්‍රමවේද ශක්තිමත් කිරීම පිළිබඳවද මෙහිදී පුළුල්ව සාකච්ඡා විය.
සංචාරය අතරතුර නියෝජිත පිරිස කොළඹ ජාතික රෝහල සහ කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය වෙතද නිරීක්ෂණ චාරිකාවක නිරත විය. එහිදී ජාතික රෝහලේ නව බාහිර රෝගී අංශය, හදිසි ප්‍රතිකාර ඒකකය සහ හදිසි අනතුරු අංශය පිළිබඳවද විශේෂ අවධානය යොමු කෙරිණි.
මෙම නිරීක්ෂණ චාරිකාවන්හි ප්‍රධාන අරමුණ වූයේ එම ආයතන නවීන තාක්ෂණයෙන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය අවස්ථා සහ අවශ්‍යතා සොයා බැලීමයි.
තෙදින සංචාරය පුරාවටම ඖෂධ සහ වෛද්‍ය උපකරණ සැපයීම, වෛද්‍ය විශේෂඥයින්ගේ පුහුණුව හා උසස් පුහුණු අවස්ථා, අධ්‍යයන සහයෝගිතාවය (හුවමාරු වැඩසටහන් සහ ඒකාබද්ධ පාඨමාලා), ආයුර්වේද වෛද්‍ය ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සහ සෞඛ්‍ය සංචාරක කර්මාන්තය වැනි ක්ෂේත්‍ර රැසක් පිළිබඳවද විශේෂ අවධානය යොමු විය.
සමස්තයක් ලෙස මෙම සංචාරය ශ්‍රී ලංකාව සහ රුසියාව අතර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද්වීපාර්ශ්වික සහයෝගිතාවය නව මට්ටමකට ගෙන ඒමට ඉවහල් වූ වැදගත් අවස්ථාවක් ලෙස සලකනු ලැබේ.

