brand logo
logo
පොලීසියේ දී සැකකරුවෙකු මියයෑමට එරෙහිව BASL අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි

පොලීසියේ දී සැකකරුවෙකු මියයෑමට එරෙහිව BASL අපක්ෂපාතී පරීක්ෂණයක් ඉල්ලයි

27 October 2026


මත්ද්‍රව්‍ය සම්බන්ධ විමර්ශනයකට අදාළව අත්අඩංගුවට ගෙන හෝමාගම පොලිස් ස්ථානයේ රඳවා සිටියදී කිරිවත්තුඩුවේ පදිංචි 29 හැවිරිදි දෙදරු පියෙකු වන ඉෂාර හර්ෂ කුමාරගේ මරණය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය සිය දැඩි කනස්සල්ල පළ කර සිටියි.


වාර්තා වන අයුරින්, ඔක්තෝබර් 25 වන දින උදෑසන පොලිස් ස්ථානය වෙත ගොස් සැකකරුගේ තත්ත්වය විමසා බැලූ පවුලේ සාමාජිකයන් පවසා ඇත්තේ ඔහුට දැඩි ලෙස පහර දී ඇති බව පෙනෙන ශාරීරික තුවාල නිරීක්ෂණය වූ බවය.


කෙසේ වෙතත්, ඊට ප්‍රතිවිරුද්ධව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කර ඇත්තේ මෙහෙයුමක් අතරතුර සැකකරු හදිසි අසනීප තත්ත්වයකට මුහුණ දී ඇති බවත්, රෝහල්ගත කිරීමෙන් පසු ඔහු මියගිය බවත් බව එම නිවේදනයෙන් පෙන්වා දෙයි.


මෙම පරස්පර ප්‍රකාශ හමුවේ මරණයට හේතු වූ පසුබිම සම්පූර්ණයෙන් හා ස්වාධීන ලෙස තහවුරු කර ගැනීමත්, විනිවිදභාවයකින් යුත් විශ්වසනීය පරීක්ෂණයක් පැවැත්වීමත් අත්‍යවශ්‍ය බව නීතිඥ සංගමය අවධාරණය කරයි.


අත්අඩංගුවේ පසුවන සෑම තැනැත්තෙකුගේම ජීවිතය, සෞඛ්‍යය සහ ශාරීරික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම රාජ්‍යයේ මූලික වගකීමක් වන අතර, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 13(4) වගන්තිය මඟින්ද නිසි අධිකරණ නියෝගයකින් තොරව කිසිදු අයෙකුගේ ජීවිතය අහිමි කිරීම තහනම් කර ඇති බව ශ්‍රී ලංකා නීතිඥ සංගම සිය ලිපියෙන් පෙන්වා දෙයි.


මේ වන විට හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් පශ්චාත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට නියෝග කර ඇති අතර, හෝමාගම සහකාර පොලිස් අධිකාරීවරයාගේ උපදෙස් මත මූලික විමර්ශනයක්ද ආරම්භ කර තිබේ‍.


මහජන විශ්වාසය තහවුරු කිරීම සඳහා මෙම සිදුවීමට අදාළ සියලු කරුණු සාධාරණ සැකයකට ඉඩ නොතබා විමර්ශනය කරන ලෙසත්, වහාම ක්‍රියාත්මක වන පරිදි අපක්ෂපාතී හා පුළුල් පරීක්ෂණයක් පවත්වන ලෙසත් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති රජිව් අමරසූරිය සහ ලේකම් නලින් ද සිල්වා යන මහත්වරුන්ගේ අත්සනින් යුතුව නිකුත් කළ නිවේදනය මඟින් පොලිස්පතිවරයාගෙන් සහ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.

Open
 

More News..