ශ්රී ලංකාවේ ධීවර ක්ෂේත්රය ඩිජිටල්කරණයට FAO සහාය
30 October 2026
ශ්රී ලංකාවේ ධීවර ක්ෂේත්රය ඩිජිටල්කරණයට FAO සහාය
30 October 2026
ශ්රී ලංකාවේ ධීවර කර්මාන්තය නවීන තාක්ෂණය සමඟ මුසු කරමින් ඩිජිටල්කරණය කිරීමේ ක්රියාවලිය සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහයෝගය ලබාගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ඊයේ (29) ධීවර අමාත්යාංශයේදී පැවැත්විණි.
ඒ සඳහා FAO සංවිධානයේ ආසියානු හා පැසිෆික් කලාපීය කාර්යාලයේ ජ්යෙෂ්ඨ සංඛ්යාලේඛනඥ ආචාර්ය සංගීතා ඩුබේ ඇතුළු පිරිසක් සහභාගී වූහ.
ශ්රී ලංකාවේ ධීවර ක්ෂේත්රය ඩිජිටල්කරණය කිරීම සම්බන්ධයෙන් FAO සංවිධානය මේ වන විට සිදුකර ඇති මූලික ගවේෂණවල ප්රතිඵල පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කර තිබේ.
විශේෂයෙන්ම, දිවයින පුරා පිහිටි ධීවර වරායන්හි මෙන්ම ලංකා ධීවර සංස්ථාවේ ද ඩිජිටල්කරණයට අදාළ මූලික පහසුකම් සංවර්ධනය කරමින් ඒවා නවීන තාක්ෂණයට අනුගත කිරීම පිළිබඳව මෙහිදී අවධානය යොමු වී ඇත.
එමෙන්ම, ඩිජිටල්කරණ ක්රියාවලියේ ඉදිරි කටයුතු වඩාත් ඵලදායීව සැලසුම් කිරීම සඳහා ප්රමුඛතා අවශ්යතා ඇගයීමේ ක්රමවේදයක් සකස් කිරීම පිළිබඳව ද සාකච්ඡා කර තිබේ.
ඩිජිටල්කරණය සම්බන්ධයෙන් ධීවර අමාත්යාංශය හඳුනාගෙන ඇති අවශ්යතා සඳහා FAO සංවිධානයෙන් තවදුරටත් ලබාගත හැකි තාක්ෂණික සහයෝගය පිළිබඳව ද මෙහිදී අවධානය යොමු වූ බව සඳහන් වේ.

