brand logo
logo
පාස්කු නඩු තීන්දුව සහ මහ මොළකරු

පාස්කු නඩු තීන්දුව සහ මහ මොළකරු

24 September 2026

2021 වසරේ ගොනු කළ පාස්කු නඩුවේ තීන්දුව 2026 වසරේ සැප්තැම්බර් 22 දා ප්‍රකාශයට පත් කෙරිණි. පුද්ගලයන් 2000ක අධික පිරිසකගෙන් සාක්කි ලබා ගැනීම , චෝදනා විසි දහසකට අධික ප්‍රමාණයක් ගොනු කිරීම ආදිය කෙරෙහි අවධානය යොමු කරන විට සැලකිය යුතු කාලයක් තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට ගතවීම පුදුමයට කරුණක් නොවේ. කෙසේ වුව එතරම් කාලයක් ගතවී හෝ පාස්කු ප්‍රහාරය පිළිබඳ අධිකරණ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම බෙහෙවින් වැදගත්ය. පාස්කු ප්‍රහාරයට වගකිවයුතු මහ මොළකරුවකු සිටින බව සඳහන් කරමින් කතෝලික සභාව පසුගිය කාලයේ ප්‍රබල හඬක් නැගූ අයුරු අපි දුටුවෙමු. විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ සහ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරුන්ගේ පාලන සමයේදී එවැනි හඬක් නැගුවද මාලිමා පාලන යටතේ මහ මොළකරුවා පිළිබඳ අදහස තරමක් යට ගිය බව පෙනෙයි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව ලබා දී තිබෙන තීන්දුවෙන් පැහැදිලි වනුයේ කතෝලික සභාව හෝ සමහරුන් කල්පනා කරන ආකාරයේ මහ මොළකරුකු පාස්කු ප්‍රහාරය පිටුපස නොමැති බවය. පාස්කු ප්‍රහාරය ගෝලීය ඉස්ලාම් ත්‍රස්තවාදී ව්‍යාපාරයේම එක් සිදුවීමක් පමණක් බව දැන් පැහැදිලිය. විශේෂයෙන් එකී ප්‍රහාරයට පෙර නවසීලන්තයේ ආගම අදහමින් සිට ඉස්ලාම් බැතිමතුන් ඉලක්ක කරමින් ක්‍රිස්තියානි අන්තවාදීන් එල්ල කරනු ලැබූ ප්‍රහාරය ආසන්න හේතුවක් වී තිබෙන බව පැහැදිලිය. ගෝලීය ඉස්ලාම් ත්‍රස්තවාදී ව්‍යාපාර න්‍යාය පත්‍ර සකස් කරනුයේ ඔවුන්ගේ ඉලක්ක නිසි අවස්ථාවේ පහසුවෙන් සපුරා ගත හැකි පසුබිම කෙරෙහි අවධානය යොමු කරමිනි.


ලංකාවේ මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් කාලයක් තිස්සේ ක්‍රියාත්මක වෙමින් සිටියෝය. ඒ පිළිබඳ විවිධ පැතිවලින් සාධක සහිතව කරුණු ඉදිරිපත් කළද දේශපාන බලපෑම් හෝ එකී අන්තවාදී කණ්ඩායම් අවතක්සේරු කිරීම යන හේතු පදනම් කරගෙන ඒවා වර්ධනය විය. දෙස් විදෙස් ආධාර ලැබෙන්නට විය. පිටරටවලින් අන්තවාදීන් පැමිණ මෙහි දේශන පවත්වන්නට විය. පාස්කු නඩු තීන්දුව කෙරෙහි අවධානය යොමු කරන විට අපට එය මනාව පැහැදිලි වෙයි. එහි එක් තැනක සඳහන් වන පරිදි එක් දේශකයෙක් මුස්ලිම් තරුණයන් ඉලක්ක කරමින් දෙසා ඇත්තේ මෙවැන්නකි


"මුස්ලිම් රටක් නොවන රටක ජීවත් වෙන්න අපට බැහැ. (මුස්ලිම්) රටක් කිරීමට අප සටන් කළ යුතුයි. යුද්ධයක් කළ යුතුයි."


ඉස්ලාම් අන්තවාදීන්ගේ තරම මෙවැනි තැන්වලින් අපට තේරුම් ගත හැකිය. අන්තවාදීන්ට රිසිසේ වර්ධනය විය හැකි පසු බිමක් රටෙහි විය. විශේෂයෙන් යහපාලන ආණ්ඩුව සමයෙහි ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර වූ කඹ ඇදිල්ල රට අනාරක්ෂිත තැනකට අද දැම්මේය. එකී අනාරක්ෂිත සමයෙහි රටෙහි බුද්ධි අංශද අඩපණ විය. හමුදා බුද්ධි අංශ අඩපණ වීම ඒ අතර ප්‍රධාන තැනක් ගනී. නැගෙනහිර පළාත තුළ පමණක් නොව බස්නාහිර පළාතෙහිද අන්තවාදීහු නිදහසේ පිනුම් ගැසූහ. සිය ආගමික අරමුණු සඳහා ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීමට මාන බලමින් සිටින අන්තවාදීන් අතරට රිංගන සූක්‍ෂ්ම විදෙස් ඔත්තු සේවාවලට ඒවා තමන්ගේ න්‍යායපත්‍රය යටතට ගත හැකි අවස්ථා තිබිය හැකිය. පාස්කු ප්‍රහාරය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවට ලැබුණේ ඉන්දීය ප්‍රාන්ත ඔත්තු අංශයකින් බවත් ඒ පිළිබඳ ප්‍රධාන ධාරාවේ ඔත්තු අංශ කලබලයට පත් වූ බවත් සමහරුන් සඳහන් කර තිබේ.


පාස්කු ප්‍රහාරයෙන් රටක් හැටියට අප සියලු දෙනා පාඩම් උගත යුතුය. විශේෂයෙන් ලංකාවේ ඉස්ලාම් සමාජය ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුය. ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ සියලු දෙනා ඉස්ලාම් බැතිමත්හුය. ඒ අතර සමහරුන් අධිකරණයේදී සඳහන් කර තිබුණේ අල්ලාහ් දෙවියන්ගේ අවසාන නඩු විභාගයේදී තමන්ට සාධාරණයක් ඉටුවන බවය. සමහරු සිනාමුසුව අධිකරණයෙන් පිටත්ව ගියහ. එමගින් පැහැදිලි වනුයේ ඔවුන් පාස්කු ප්‍රහාරය පිළිබඳ පසුතැවීමට ලක් නොවන බව දැයි පැහැදිලි නැත. එවැනි තැනකට ලංකාවේ මුස්ලිම් ආගම අදහන පිරිසක් යොමු වූයේ කවර පදනමකින් දැයි විමසා බැලිය යුතුය. විශේෂයෙන් ඉස්ලාම් සමාජය තුළ සාම්ප්‍රදායිකව ආගම ඇදහූ කණ්ඩායම් අබල දුබල වී අන්තවාදී මූලධර්මවාදී කණ්ඩායම් ශක්තිමත් වී තිබෙන බව සඳහන් කරන්නේ අප නොව මධ්‍යස්ථ මුස්ලිම් කණ්ඩායම්ය. මෙසේ සාම්ප්‍රදායිකව ආගම ඇදහූ දිගු කලක් සහෝදරත්වයෙන් ජීවත් වූ මුස්ලිම්වරුන් වෙනුවට අන්තවාදී සුළු කණ්ඩායම් ශක්තිමත් වීම මුස්ලිම් නායකයන්ගේ බරපතළ සැලකිල්ලට ලක්විය යුතු කරුණකි. ඒ අන්තවාදී කණ්ඩායම කිසිසේත් මුස්ලිම් ප්‍රජාවගේ නියෝජිතයන් නොවේ. එකී පසුබිම වෙනස් නොවුණහොත් යළිදු ඉස්ලාම් ත්‍රස්තවාදී කණ්ඩායම් ලංකාව තුළ හිස එසවිය හැකිය. අන්තවාදීන් බිහි කරන පසුබිම වෙනස් වී නොමැත. පාස්කු ප්‍රහාරයට පෙර ඉස්ලාම් අන්තවාදී කණ්ඩායම් පිළිබඳ කරුණු හෙළි කළ අයට එරෙහිව සමහර මුස්ලිම් දේශපාලනඥයෝ ගතුකීහ. ඔවුහු එම කණ්ඩායම් සුද්ද කළහ. මේ සියල්ල කෙරෙහි අවධානය යොමු කළ යුතුය. ආණ්ඩුව ජාතික ආරක්‍ෂාවට පළමු තැන දිය යුතුය. ජාතික ආරක්ෂාව වෙනුවෙන් ක්‍රියා කළ බුද්ධි අංශ නිලධාරීන් අධිකරණ නියෝගයකින් නොව ජනාධිපති නියෝගයකින් දිගටම රඳවා ගැනීම මගින් නම්, ශක්තිමත් වන්නේ අන්තවාදීන් බව අමුතුවෙන් සඳහන් කළ යුතු නැත.

 

More News..