brand logo
logo
කටුවැව අන්තර් හුවමාරුව අසල අනතුරකින් තරුණයෙක් මරුට

කටුවැව අන්තර් හුවමාරුව අසල අනතුරකින් තරුණයෙක් මරුට

22 October 2026 | ඒ. ඒ. පේමසිරි - තිස්සමහරාම


 හම්බන්තොට කටුවැව අන්තර් හුවමාරුව අසලදී අධික වේගයෙන් පැමිණි යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන එහි ඉදිකර ඇති ආරක්ෂිත වැටේ ගැටීමෙන් බරපතළ තුවාල ලැබූ යතුරුපැදි කරු ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය පැවසීය .             


ඊයේ (21) රාත්‍රි 10.30 ට පමණ සිදුවු මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ අම්බලන්තොට, බැරගම, අරවනමුල්ල, ප්‍රදේශයේ පදිංචි 23 හැවිරිදි අවිවාහක තරුණයෙකි. 


ඔහු හම්බන්තොට මූල්‍ය සමාගමක අළෙවි සහායකවරයෙකු ලෙස සේවය කර ඇතැයි පොලිසිය පවසයි.          


හම්බන්තොට දෙස සිට සූරියවැව දෙසට අධික වේගයෙන් පැමිණි යතුරු පැදිය වේගය පාලනය කර ගත නොහැකිව මාර්ගයේ දකුණු පස ඉදිකර ඇති ආරක්ෂිත යකඩ වැටේ ගැටී යතුරු පැදි කරුගේ හිස ප්‍රදේශයට බරපතළ තුවාල සිදුවී ඇතැයි පොලිසිය පැවසීය. 

           

පසුව තුවාලකරු හම්බන්තොට දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමේදී ජීවිතක්ෂයට පත්ව තිබේ .       


මියගිය අයගේ මෘතදේහය හම්බන්තොට රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, එම මළ සිරුර පිළිබඳව හදිසි මරණ පරීක්ෂණය අද සිදුකිරීමට නියමිතව තිබුණී .

            

 හම්බන්තොට වරාය පොලිසියේ රථ වාහන අංශයේ පොලිස් නිලධාරීන් විසින් අනතුර ගැන වැඩිදුර පරීක්ෂණ පවත්වයි .

 

More News..