Best News Website award
brand logo
logo
 නවක නිලධාරීන් 221 දෙනෙකු විශේෂ කාර්ය බළකායට එක්වෙයි

නවක නිලධාරීන් 221 දෙනෙකු විශේෂ කාර්ය බළකායට එක්වෙයි

21 November 2026


පොලිස් විශේෂ කාර්ය බලකායේ 83 වන මූලික පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කළ ආධුනික නිලධාරීන් 221 දෙනෙකු විසිර යාමේ උත්සවය ඊයේ (20) පැවැත්විණි.


ඒ කටුකුරුන්ද විශේෂ කාර්ය බලකා පුහුණු පාසල් පරිශ්‍රයේදීය.


එහිදී ආධුනික උප පොලිස් පරීක්ෂකවරු 04 දෙනෙකු සහ ආධුනික පොලිස් කොස්තාපල්වරු 217 දෙනෙකු මූලික පුහුණු පාඨමාලාව සාර්ථකව නිම කරන ලදි.


ඒ අනුව මෙම නවක නිලධාරීන් විශේෂ කාර්ය බළකායේ අනන්‍යතාව සංකේතවත් කරමින් කොළ පැහැති හිස් වැසුම් පැළඳ විශේෂ කාර්ය බළකා සාමාජිකත්වයට නිල වශයෙන් එක්වීම මෙහිදී සිදුවිය.


මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා එක්වූ අතර විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති රෝයි සුමනවර්ධන මහතා ඇතුළු ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක්ද එක්ව සිටිහය.


එමෙන්ම උත්සවය නැරඹීම සඳහා පැමිණ සිටි ආරාධිතයින් සහ නවක නිලධාරීන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ ප්‍රීතිඝෝෂා මධ්‍යයයේ පුහුණුව නිම කළ සෙබළුන් සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමටද මෙහිදී කටයුතු කළහ.


එහිදී ඉහළ නිරවද්‍යතාවයකින් යුත් ස්නයිපර් වෙඩි තැබීමේ සංදර්ශනය ඇතුළු තවත් විශේෂ සටන් කුසලතා සහ උපක්‍රමික දස්කම් රැසක් ඉදිරිපත් කරමින් විශේෂ කාර්ය බළකායේ විශිෂ්ටත්වය යළිත් වරක් තහවුරු කිරීමටද මෙහිදී සමත් විය.


මූලික පුහුණුව සාර්ථකව අවසන් කළ මෙම නිලධාරීන් 221 දෙනා ඉදිරියේදී දිවයින පුරා පිහිටි විශේෂ කාර්ය බළකා කඳවුරු වෙත අනුයුක්ත කිරීමටද නියමිතව ඇත.

 

More News..