ලිට්රෝ ගෑස් සැපයුම ගැන ඇමති නලින්ද කියයි
17 November 2026
ලිට්රෝ ගෑස් සැපයුම ගැන ඇමති නලින්ද කියයි
17 November 2026
දෙසැම්බර් මාසයේදී මෙරට ගෑස් අවශ්‍යතාවය සඳහා ලිට්රෝ ගෑස් සමාගම මෙට්‍රික් ටොන් 45,000ක ගෑස් තොගයක් මේ වන විට ඇනවුම් කර ඇතැයි අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස පවසයි.
අද (17) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසුවේ ඒ අනුව නිසි පරිදි නිසි කාලයට ගෑස් තොග මෙරට ජනතාවට ලබාදීමට ලිට්රෝ සමාගම කටයුතු කරනු ඇති බවය.
එමෙන්ම නොවැම්බර් මාසයට අදාළව ලිට්රෝ සමාගම විසින් ගෑස් මෙට්‍රික් ටොන් 44,000ක ගෑස් තොගයක් ඇනවුම් කර ඇතැයිද ඉන් මේ වන විට මෙට්‍රික් ටොන් 23,400ක් ලැබී ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.
එමෙන්ම හෙට (18) දිනයේදී තවත් මෙට්‍රික් ටොන් 3,900ක ගෑස් තොගයක් රැගත් නෞකාවක්ද මෙරටට පැමිණීමට නියමිතව ඇති බවත් පැවසූ අමාත්‍යවරයා ලිට්රෝ සමාගම විසින් මේ වන විට ගෑස් නිකුත් කරන ප්‍රමාණයද වැඩි කර ඇතැයිද පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
"නොවැම්බර් මාසයට ලිට්රෝ සමාගම විසින් මෙට්‍රික් ටොන් 44,000ක තොගයක් ඇනවුම් කරලා මේ වන විට 23,400ක් දිවයිනට ලැබිලා තියෙන්නේ. තවත් මෙට්‍රික් ටොන් 3,900ක LP ගෑස් තොගයක් රැගත් නැව නොවැම්බර් 18 වෙනිදා දිවයිනට ළඟා වීමට නියමිතව තිබෙනවා. නොවැම්බර් 10 වැනිදා ඉඳලා ගත වූ දින 7 තුළ ලිට්රෝ ගෑස් සිලින්ඩර් ලක්ෂ 8ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට කටයුතු කරලා තිබෙනවා. දෙසැම්බර් මාසයේදී ගෑස් අවශ්‍යතාවය සම්පූර්ණ කිරීම සඳහා මෙට්‍රික් ටොන් 45,000ක ගෑස් තොගයක් ලිට්රෝ ගෑස් සමාගම ඇනවුම් කරලා තියෙනවා. ඒ අනුව නිසි පරිදි නිසි කාලයට ඒවා ලැබෙනවා. ලිට්රෝ ගෑස් සමාගම වෙළෙඳපොළට නිකුත් කරන ප්‍රමාණය වැඩි කළා. සාමාන්‍යයෙන් මෙට්‍රික් ටොන් 32,000යි නිකුත් කරන්නේ ඒක දැන් 45,000 දක්වා වැඩි කරලා තියෙන්නේ"


