බොරැල්ලේදී පදිකයාට පහරදුන් රියැදුරු ගංජාවලට ඇබ්බැහි වූවෙකු බවට වෛද්‍ය වාර්තා
22 November 2026
බොරැල්ලේදී පදිකයාට පහරදුන් රියැදුරු ගංජාවලට ඇබ්බැහි වූවෙකු බවට වෛද්‍ය වාර්තා
22 November 2026
කොළඹ, බොරැල්ල කනත්ත වටරවුම අසලදී මාර්ග නීති උල්ලංඝනය කරමින් පදික මාරුව අවහිර කර, පදිකයෙකුට පහරදී තර්ජනය කළ මෝටර් රථ රියදුරු ගංජා භාවිතයට ඇබ්බැහි වූවෙකු බවට අධිකරණ වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී ඇතැයි රථවාහන පාලන හා මාර්ග ආරක්ෂාව දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ඩබ්ලිව්. පී. ජේ. සේනාධීර මහතා ප්‍රකාශ කළේය.
ඉකුත් නොවැම්බර් 20 වැනිදා පස්වරු 3.30 ට පමණ, අවමංගල්‍ය උත්සවයකට සහභාගී වූ යුවළක් බොරැල්ල කනත්ත වටරවුම අසල පදික මාරුවෙන් මාර්ගය හරහා මාරු වෙමින් සිට ඇත.
එම අවස්ථාවේ රාජගිරිය දෙස සිට කනත්ත වටරවුම දෙසට ධාවනය වූ මෝටර් රථයක්, රතු ආලෝක සංඥා දැල්වී තිබියදීත් නොනවත්වා නලාව නාද කරමින් පදික මාරුව අවහිර කර තිබේ.
අනතුරුව මාර්ගය මාරු වූ යුවළ සමඟ බහින්බස් වී ඇති රියැදුරු, එම පුද්ගලයාට පහරදී තර්ජනය කර ඇත.
මෙම සිදුවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ වූ සටහනක් පදනම් කරගනිමින් බොරැල්ල පොලීසිය විමර්ශන ආරම්භ කර තිබුණි.
ඒ අනුව ක්‍රියාත්මක වූ පොලීසිය, බොරැල්ල ප්‍රදේශයේම පදිංචි 37 හැවිරිදි සැකකාර රියැදුරු ඊයේ (21) දහවල් අත්අඩංගුවට ගනු ලැබීය.
අත්අඩංගුවට ගත් සැකකරු කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව, ඔහු ගංජා භාවිතයට ඇබ්බැහි වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වූ බව නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.
සැකකාර රියැදුරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර තිබේ.


