ඇඟ හදාගන්න මාස දෙකක් බත් කෑවේ නැහැ
22 July 2026 | ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
ඇඟ හදාගන්න මාස දෙකක් බත් කෑවේ නැහැ
22 July 2026 | ක්‍රිෂාන්ත පුෂ්පකුමාර
සාමාන්‍ය පෙළ පන්තියේදී රංගනය ගැන ඇතිවන ඇල්ම නිසාම ලංකාවේ ජනප්‍රිය නළුවෙක් වීමේ සිහිනය චමීර ලියනගේ ගේ සිත තුළ පැළපදියම් වෙනවා. ඒ වෙනුවෙන් ඔහු අප්‍රමාණ කැපවීමක් මහන්සියක් දරනවා. එහි ප්‍රතිඵලයක් ලෙස අද ඔහු ඒ සාර්ථකත්වයේ ඉලක්කය සපුරනවා. විශේෂයෙන්ම නළුවෙක් තුළ ඇති කඩවසම් බවට හොඳම උදාහරණයක් සපයන්න චමීරට පසුගියදා හැකි වෙනවා. ඒ ඔහු අශ්වයෙක් සමග කළ ඡායාරූප පෙළක් නිසා. මේ නිසාම මේ දිනවල කඩවසම් පෞරුෂයෙන් පිරි චමීර ගැන හැමෝම කතා කරනවා. වේදිකාවේ, රූපවාහිනියේ සහ සිනමාවේ තරුවක් වෙන්න ආ ගමන ගැන අද චමීරත් එක්ක ‘පිනිපලසෙන්’ කතා කරනවා.
අතිශයින් කාර්ය බහුලයි නේද?
රනිල් කුලසිංහගේ ‘හිද්දලයෝ’ නාට්‍යය විකාශනය වෙලා අවසන් වුණා. මේ දවස්වල රොහාන් වැලිවිටගේ ‘මම තනියම’ චිත්‍රපටයේ රූපගත කිරීම්වලට සහභාගි වෙනවා. මගේ හිතේ හීනයක් වෙලා තිබුණු සොල්දාදුවකුගේ චරිතය මේ චිත්‍රපටයේ මට රඟපාන්න ලැබුණා. මේ නිසා මම තනියෙන් චිත්‍රපටය තුළින් මගේ හීනයත් සැබෑ වුණා.
ඇයි සොල්දාදුවෙක්ගේ චරිතයක් කරන්න කැමැත්තෙන් උන්නේ?
ඉස්සර ඉඳලම ආමි එකේ කෙනෙක් දකිනකොට මට පුදුමාකාර හැඟීමක් ඇතිවෙනවා. කොණ්ඩෙ කොටට කපලා ඉන්න සොල්දාදුවෙක්ගෙන් මම වෙනම විශේෂත්වයක් දැක්කා.
දැන් ක්ෂේත්‍රයට ඇවිත් කොච්චර කල්ද?
අවුරුදු දහඅටටත් වැඩියි. ඇත්තටම මේක ලෙහෙසි පහසු ගමනක් නෙවේ. පුංචි අතිරේක චරිත රඟපාමින් අවුරුදු තුනක් ඇවිද්දා. කොටින්ම කිව්වොත් මාර ගේමක් දීලා තමා මේ තැන හදාගත්තේ.
පවුලේ කවුරුවත් මේ ක්ෂේත්‍රයේ උන්නේ නැද්ද?
කිසිම කෙනෙක් නැහැ. කොටින්ම මගේ අම්මා, තාත්තා ටෙලි නාට්‍යයක්වත් බලන අය නෙවේ. මමම තමා පාරවල් ගානේ ඇවිද ඇවිද අවස්ථාවන් සොයාගෙන ගියේ. තරු මංසලෙන් පටන් ගත්තු ගමන තමා ගේමක් ගැහුවේ.
ඒ කියන්නේ ඔබට අවස්ථාවක් දෙන්න කෙනෙක් උන්නේ නැහැ..?
මමම තමා ඔක්කොම හදාගත්තේ. පුංචි චරිතයක් කරනකොටත් අනිත් අයගේ රඟපෑම දිහා හොරෙන් බලනවා. අනෝජා මිස්ගේ, මහේන්ද්‍ර සර්ගේ පන්තිවලට ගිහින් රංගනය ප්‍රගුණ කළා. රංගනය ගැන හැම තිස්සේම ඉගෙන ගත්තා. එහෙම තමා අවස්ථාවන් ලබාගත්තේ.
අද ඔබෙන් කෙනෙක් අවස්ථාවක් ඉල්ලුවොත් මොකක්ද දක්වන ප්‍රතිචාරය?
හොඳට ඉගෙනගෙන එන්න කියන පණිවුඩය තමා දෙන්න තියෙන්නේ. අහසින් කඩා වැටුණා වගේ ඇවිත් මේකේ පැළවෙන්න බැහැ. එහෙම පැළ වුණත් තාවකාලිකයි. ඉගෙන ගෙන ආවොත් විතරයි ඉන්න පුළුවන්.
නළුවෙක් ඇඟ ඇතුළේ ඉන්නවා කියලා දැනගත්තේ කොහොමද?
ඉස්සර ෂාරුක් ඉන්න චිත්‍රපට බලනවා. ඕලෙවල්වලදි සම්පත් අත්තටගේ සර්ගේ විද්‍යා පන්තියේ විද්‍යා උළෙලේදී ගැලීලියෝ ගැලිලිගේ චරිතය රඟපාන්න අවස්ථාව ලැබුණා. එතැන තමා ආරම්භය. ඊට පස්සේ දහම් පාසලේ වේදිකා නාට්‍යයක රඟපාලා හොඳම නළුවා වුණා. ඇත්තටම ඒ නාට්‍යයේ හොඳම නළුවා සම්මානයක් තිබුණේ නැහැ. මම රඟපානවා දැකපු හැමෝටම මට මොනවා හරි දෙන්න හිතිලා. ලොකු බුද්ධ රූපයක් ෆ්‍රේම් කරලා දුන්නා. ඒක මට ලොකු උත්තේජනයක් වුණා.
ගෙදර අය දැනගෙනද උන්නේ නළු උණ ගැනිලා කියලා..?
සාමාන්‍ය පෙළ කරලා ගෙදර ඉන්නකොට රඟපාන එක විතරයි කළේ. එතකොට ගෙදර අය දැනගත්තා මට නළු උණ ගැනිලා කියලා.
ඔබ කොතැනින්ද මතුවෙන්නේ?
ගයා රම්‍ය අල්විස් මහතාගේ ‘කොළඹ අහස’ ටෙලි නාට්‍යයෙන් තමා සැලකිය යුතු අවස්ථාවක් ලැබෙන්නේ. නැගී එන නළුවා හැටියට සුමති සම්මාන උළෙලේ නිර්දේශ වීමත්, ජනප්‍රිය නළුවා සඳහා නිර්දේශ වීමත් සිදුවුණේ මේ නාට්‍යය නිසා.
එතැනින් පස්සේ ඔබ මතුවන්නේ වෙනම විදිහකට නේද?
‘වෙස්’ නාට්‍යයෙන් මුළු රටම හඳුනන නළුවෙක් බවට පත්වෙනවා. මුල්ම කාලේ මට ලැබෙන්නේ නවීන තාරුණ්‍යයේ චරිත. නමුත් රන්තිලි වැව වගේ නාට්‍යවලින් ඕනෑම චරිතයක් වුණත් කරන්න පුළුවන් කියලා ඔප්පු කළා.
ලැබුණු ඇගැයීම් ගැන මොකද හිතෙන්නේ?
සම්මාන ලැබිලා තියෙනවා. පසුගිය අවුරුද්දේ ජනප්‍රිය නළුවා සම්මානයක් ලැබුණා. විශේෂයෙන්ම ‘වීදුරු තිර’ නාට්‍යයේ රඟපාපු පොෂ් චරිතයත්, ‘ඉරගිනි මද්දහන’ නාට්‍යයේ රඟපාපු නෝන්ජල් චරිතයත් දෙකම එකම කාලෙක විකාශනය වුණේ. මේ චරිත දෙක නිසා අසීමිත ජනප්‍රියත්වයක් ලැබුණා. ඒ වෙනුවෙන් තමා ජනප්‍රිය නළුවාට හිමි සම්මානය ලැබෙන්නේ.
හිත සතුටු වෙන්න පුළුවන් තැනකද ඉන්නේ?
හිත සතුටුම කරන ඇගැයීම තාමත් ලැබිලා නැහැ. ඒක ගන්න ලේසි වෙන්නෙ නැහැ කියලා මම දන්නවා. ඒ ඇගැයීම ලබාගන්න තව ලොකු කට්ටක් කන්න ඕනේ. තව තවත් නිර්මාණවලට අවංක වෙලා වැඩ කරන්න ඕනේ. දවසක එතැනට යන එක තමා එකම අරමුණ.
දැන් සිනමාවටත් අඩිය තිබ්බා නේද?
ඇත්තටම මේ ගෙවෙන්නේ මගේ ජීවිතේ හොඳම වසර. ශාන් ජයරත්නගේ ‘කන්නගී’ චිත්‍රපටයේ වැඩ ඉවර කළා. සුදේශ් වසන්ත පීරිස්ගේ ‘රතී’ චිත්‍රපටය අවසන් කළා. ඒ වගේම කලණ ගුණසේකරගේ අලුත් චිත්‍රපටයේ වැඩ පටන් ගන්නවා. ඒ වගේම හොඳ ටෙලි නාට්‍ය පිටපත් දෙකකුත් අතට ලැබිලා තියෙන්නේ.
නිර්මාණයකට සම්බන්ධ වෙද්දි පිටපත ඔබට කොයි තරම් වැදගත්ද?
මම ගාන කියන්නත් කලින් පිටපත ඉල්ලන්නේ. පිටපත හිතට වැදුණොත් තමා මුදල තීරණය කරන්නේ. මම වෙනත් නාට්‍යයක් වෙනුවෙන් මගේ ස්වරූපය මාරු කරගෙන ඉන්නවා නම් මට අනෙක් නාට්‍යය බාරගන්න අමාරුයිනේ. කිසිම වෙලාවක නිර්මාණයක් අනාථ කරන්න බලාගෙන වැඩ බදාගන්නේ නැහැ. මට කරන්න පුළුවන් චරිතයක් විතරයි බාර ගන්නේ.
අන්තිමට සෙට් වුණ පිටපත මොකක්ද?
‘බෙඩ් ප්ලේස්’ කියලා නාට්‍යයකට සූදානම් වෙනවා. රට ගිය කොල්ලෙක්ට සිද්ධ වෙන සිදුවීම් මාලාවක් තමයි මේ නාට්‍යයේ තියෙන්නේ. රූපගත කිරීම් සිද්ධ වෙන්නේ ඩුබායිවල. මේක වෙනස්ම පිටපතක්.
මෙගා වැඩවලට සම්බන්ධ වුණේ නැහැ නේද?
මෙගාවලට අකමැත්තක් නැහැ. හැබැයි ආරාධනා එන්නේ කොටස් අඩු නාට්‍යවලට. හැබැයි මම කැමැති කොටස් අඩු නාට්‍යවලට තමයි. අපි හිතමු මෙගා එකක අවුරුදු ගාණක් මට එකම රූපය තියාගෙන ඉන්න වෙනවා. එතකොට වෙන වැඩ බාරගන්න බැහැ. නමුත් ඔය අවුරුදු තුනට විවිධ චරිත ඔස්සේ නාට්‍ය කීයක මට රඟපාන්න පුළුවන්ද? ඒ විවිධත්වයට මම කැමැතියි.
මේ දවස්වල වෙනස්ම ඡායාරූප පෙළක් සංසරණය වෙනවා නේද?
නාමල් ප්‍රවීන් මල්ලි තමා මේ ඡායාරූප ගත්තේ. ඔහුට අවශ්‍ය වුණා මගේ වෙනසක් කරන්න. මේ ලොකේෂන් එක තියෙන්නේ ගම්පොළ, අම්බුළුවාව කියන ප්‍රදේශයේ. පාන්දර තුනට තමයි මම මේක්අප් එකට ඉඳගත්තේ. හවස තුන හතර වෙනකම් ෂූට් එක කළා.
අශ්වයෙක් එක්ක ෆොටෝ කරන එක ලේසි නැහැ නේද?
අශ්වයෝ දෙන්නෙක් එක්ක මේ ෂූට් එක කළේ. විශේෂයෙන්ම අශ්වයෝ තමාගේ හාම්පුතාට තමයි හීලෑ වෙන්නේ. නමුත් මේ අශ්වයෝ මට හුරු වෙච්ච හැටි දැක්කම හැමෝම පුදුම වුණා. ඒ නිසාම අශ්වයෝ එක්ක හුඟක් ආදරෙන් ෆොටෝ ටික අරගන්න පුළුවන් වුණා.
ඔබ සත්තු එක්ක ෆොටෝ ෂූට් කරන්න කැමැතියි නේද?
ඒක මගේ ආසාවක්. මීට කලින් පොර කුකුල්ලු එක්ක ෂූට් එකක් කළා. ඒ පොර කුකුල්ලුත් මට අවනත වුණා. ඊට පස්සේ බල්ලෝ, හාවෝ, අශ්වයෝ එක්ක ෂූට් කළා. ඊළඟට අලියෙක් එක්ක ෂූට් එකක් කරනවා. දිගටම සත්තු එක්ක වැඩ කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමත් මම සතුන්ට හරිම ලෙන්ගතු කෙනෙක්.
ඔබ නිර්මාණය වෙනුවෙන් ඔබේ සිරුර හදාගන්න මහන්සි වෙනවා නේද?
අධ්‍යක්ෂට ඕන දේ තමා මම කරන්නේ. ඇඟ කෙට්ටු කරලා ඕනේ කිව්වොත් මම ඒ වෙනුවෙන් කැප වෙනවා. අශ්වයා එක්ක ෆොටෝ ෂූට් එක වෙනුවෙන් මම මාස දෙකක් බත් කෑවේ නැහැ. උදේ පාන්දර පැය ගාණක් දුවලා තමා ඇඟ හදාගත්තේ. හැබැයි නිර්මාණයකට මාව මහතට ඕනේ කියලා කිව්වොත් දවසම කෑම කාලා හරි මම පිම්බෙනවා. නිර්මාණය වෙනුවෙන් කැපවෙන්න සූදානම්.
පවුලෙන් ලැබෙන සහයෝගය කොහොමද?
උපරිම සහයෝගය ලැබෙනවා. අයියා, අක්කා, මල්ලි, අම්මා, තාත්තා එක්ක බොහොම සතුටින් කාලය ගත කරනවා.
දැන් තනිකඩව උන්නා ඇති නේද?
ඇතිද? බලමු ඉස්සරහට වෙනසක් කරන්න.
හැමදාම ආදර ප්‍රශ්නවලදි මගහරිනවා නේද?
ආදරේ ගැන කතා කරනවා නම් කතා කරන්න ගොඩක් දේවල් තියෙනවා. හැබැයි තාම ඒකට වෙලාව නෙවෙයි. මේ අවස්ථාවේ මම ඉලක්ක කීපයක් වෙනුවෙන් වැඩ කරනවා. ඒ නිසා ඒ ඉලක්ක සපුරාගෙන ඊළඟ දවසේ ආදරේ ගැන කතා කරමු.
බොහෝම පරිස්සමින් ඔබ ඔබේ ගමන යනවා. කොහොමද මේ සංයමය හදාගත්තේ?
හැම තප්පරයක් තුළම මහන්සි වෙලා වැඩ කරපු නිසා තමයි මේ තත්ත්වයට එන්න පුළුවන් වුණේ. හදිසියක්, කලබලයක් නැතිව මහන්සියෙන් වැඩ කරන්න. උපරිම අවංකව වැඩ කරන්න. අනිවාර්යයෙන් රැඳී ඉන්න පුළුවන්.

