ලෝක අලි දිනය අදයි
12 August 2026 | ගයාත්‍රි ගීගනආරච්චි
ලෝක අලි දිනය අදයි
12 August 2026 | ගයාත්‍රි ගීගනආරච්චි
ලෝක අලි දිනය අද (12වැනිදා) ට යෙදී තිබේ.
මෙවර ලෝක අලි දිනයේ නිල තේමාව වන්නේ, “ආරක්ෂිත පරිසර හිතකාමී අලිමංකඩ - ආරක්ෂිත අලි ඇතුන්” යන්නයි.
වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ දත්තවලට අනුව 2026 වසරේ මේ දක්වා අලි මරණ 201 වාර්තා වී තිබේ. ඉන් 108 දෙනෙක්ම මිය ගොස් ඇත්තේ අලි මිනිස් ගැටුමේ ප්‍රතිඵලයක් ලෙසිනි. අක්‍රමවත් සංවර්ධන ක්‍රියාවලිය, ස්වභාවික සංචරණ මාර්ග හා මංකඩවල් අවහිර වීම, පාරිසරික මායිම් විධිමත්ව කළමනාකරණය නොකිරීම ආදී හේතු මත අලි මිනිස් ගැටුමේ අද වන විට සමාජයීය හා ආර්ථික අර්බුදයක් බවට පත්ව ඇත. මෙම අර්බුදය මත ගත වූ මාස 07 ඇතුළත අහිමි වූ මිනිස් ජීවිත සංඛ්‍යාව 79කි.
අලි මිනිස් ගැටුමෙන් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ නැගෙනහිර වනජීවි කලාපයේය. වෙඩි වැදීම නිසා වැඩිම අලි සංඛ්‍යාවක් මිය ගොස් ඇත්තේ ද එම කලාපය තුළයි. වනජීවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව පෙන්වා දෙන ආකාරයට අලි මිනිස් ගැටුම වැඩි වශයෙන් දකින්නට ලැබෙන්නේ නැගෙනහිර, අනුරාධපුර හා පොළොන්නරුව වනජීවි කලාපවලය.
මේ තත්ත්වය අවම කර ගැනීම සඳහා මේ වන විට අලි මංකඩවල් තුනක් නිල වශයෙන් ගැසට් කර ඇතැයි පරිසර අමාත්‍යාංශය පවසයි. වන අලින්ගේ සංචරණ රටාවට බාධා නොවන පරිදි හම්බන්තොට, සහ මොණරාගල කේන්ද්‍ර කර ගනිමින් වැටහිරකන්ද, හඳපානාගල, කොහොලංකල යනු එම අලිමංකඩවල් තුනයි. අනුරාධපුර දිස්ත්‍රික්කයේ අලිමංකඩ නිදහස් කර ගැනීමට අදාළ කටයුතු මේ වන විට කෙරෙමින් පවතින බව ද පරිසර අමාත්‍යාංශය පවසයි.
තුවාල ලැබූ සහ රෝගී වනඅලින්ට කඩිනමින් ප්‍රතිකාර දීම වෙනුවෙන් ජංගම රෝහල් සේවාවක් ස්ථාපිත කිරීමට කටයුතු කරමින් සිටින බවත් එම අමාත්‍යාංශය සඳහන් කරයි.

