Best News Website award
brand logo
logo
කාවන්තිස්සට වෙඩිතැබීමේ නඩුවේ සැකකරුවන් දෙදෙනාට ඇප දීම

කාවන්තිස්සට වෙඩිතැබීමේ නඩුවේ සැකකරුවන් දෙදෙනාට ඇප දීම

26 November 2026 | උපාලි ආනන්ද - අනුරාධපුර අධිකරණ


කාවන්තිස්‌ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකාර නිපුණතා සංවර්ධන නිලධාරියා සහ අනෙක් සැකකරු ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස නීතිඥයන් කළ ඉල්ලීමක් මහව මහෙස්ත්‍රාත්‍ අනුරුද්ධිකා සෙනෙවිරත්න මෙනවිය යළි ප්‍රතික්ෂේප කළාය. ඒ අනුව සැකකරුවන් දෙදෙනා එළැඹෙන දෙසැම්බර් මස 9 දින දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය එදිනට පැමිණිල්ල මෙහෙයවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ද නියෝග කළාය.


කාවන්තිස්ස හස්තියාගේ වෙළෙඳපොළ වටිනාකම සම්බන්ධයෙන් රජයේ තක්සේරු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා මගින් විධිමත් තක්සේරු වාර්තාවක් මීළඟ නඩු දිනයේදී අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට නියෝග කළ මහෙස්ත්‍රාත්වරිය කාවන්තිස්‌ස හස්තියාගේ අවසන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ද එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට වනජීවි නිලධාරින්ට නියෝග කරනු ලැබූවාය.


කාවන්තිස්‌ස හස්තියා මිය යෑමේ සිද්ධියට අදාළ නඩුව ගල්ගමුව මහෙස්ත්‍රාත්‍ අධිකරණයේත් කාවන්තිස්‌ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව මහව මහෙස්ත්‍රාත්‍ අධිකරණය හමුවෙත් පැවතීම නෛතික ගැටලුවක් බවද ප්‍රකාශ කළ මහෙස්ත්‍රාත්වරිය ඒ අනුව මෙම නඩු දෙකම එකම මහෙස්ත්‍රාත්‍ අධිකරණයක් තුළ පවත්වාගෙන යාමට අවශ්‍ය නීති උපදෙස් නීතිපතිවරයාගෙන් ලබා ගන්නා ලෙසට ද මහෙස්ත්‍රාත්වරිය වනජීවි දෙපාර්තමේන්තුවට නියෝග කෙරිණ.


මහෙස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ කාවන්තිස්‌ස හස්තියාට වෙඩි තැබීමේ සිද්ධියට අදාළ නඩුව මහව මහෙස්ත්‍රාත්‍ අධිකරණය හමුවේ 25 දින යළි කැඳවූ අවස්ථාවේදීය. මෙහිදී protect elephant world global association ශ්‍රී ලංකා ශාඛාව වෙනුවෙන් කරූණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ විජිත වික්‍රමනායක පැවැසුවේ මෙම සිද්ධියට අදාළ පැමිණිල්ල මෙහෙයවීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට ඉකුත් 11 දින අධිකරණය නියෝග කර ඇතත් එකී නියෝගයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඊයේ දින අධිකරණයේ පෙනී නොසිටි බවයි.


ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණ නියෝග කඩ කර ඇති බවටද චෝදනා කළ නීතිඥවරයා කාවන්තිස්‌ස හස්තියාගේ මරණයට අදාළව පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශුවෛද්‍ය හා සත්ත්ව විද්‍යා පීඨයේ මහචාර්ය ආර්.ආර්.එම්.කේ.කේ. විජේසුන්දර ගල්ගමුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතුරු පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව මගින් ගැටලු රැසක් මතු කර ඇති බවද ප්‍රකාශ කළේය. විදෙස් සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ මිය ගිය ඇතුන්ගේ දල පමණක් බැලීමට නොවන බවද අවධාරණය කළ නීතිඥවරයා විදෙස් සංචාරකයන් මෙරටට පැමිණෙන්නේ ජීවමාන අලි ඇතුන් නැරඹීමට බවත් අලි ඇතුන් පෙන්වා මින්නේරිය ජාතික වනෝද්‍යානයෙන් පමණක් දෛනිකව රජයට රුපියල් කෝටියකට අධික ආදායමක් උපයා දෙන බව ද කීවේය නීතීඥ සඳගිරි බණ්ඩාර මහතා සඳහන් කළේ කාවන්තිස්‌ස හස්තියාට වෙඩි තැබීමේ විමර්ශනවලට අදාළව වනජීවිය අධිකරණයට ඉදිරිපත් කරන කිසිදු වාර්තාවක නිශ්චිතභාවයක් දක්නට නොමැති බවයි.


සරකිමු අලි ඇත් පරපුර සංවිධානය වෙනුවෙන් කරුණු දක්වමින් නීතිඥ රවින්ද්‍ර ඉරුගල් බණ්ඩාර කියා සිටියේ මෙම නඩුවේ විමර්ශන මෙහෙයවීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැවරීමට අධිකරණය නියෝග කළේ පසුගිය 11 දින බවයි එහෙත් මේ දක්වා එම නියෝග ක්‍රියාත්මක කිරීමට වනජීවි දෙපාර්තමේන්තුව අසමත්ව ඇතී බව ද පවසා සිටී නීතිඥවරයා වනජීවි දෙපාර්තමේන්තුව විහිළු සපයන ආයතනයක් නොවිය යුත බවද ප්‍රකාශ කළේය සැකකරූවන් වෙනුවෙන් දීර්ඝව කරුණු දක්වමින් නීතිඥ උදය රාජපක්ෂ කියා සිටියේ තම සේවාදායකයන් මේ වන විට දින 37 ක් අඛණ්ඩ බන්ධනාගාරගතව සිටින බවයි අත්අඩංගුවට ගෙන ඇති ගිනි අවි සහ උණ්ඩ සම්බන්ධයෙන් අද දින රස පරීක්ෂක වාර්තා අධිකරණයට ලැබී ඇති බවද ප්‍රකාශ කළ නීතිඥවරයා එකී ගිනි අවිවලින් කලකට පෙර වෙඩි උණ්ඩ පිටව ඇති බව අදාළ රස පරීක්ෂක වාර්තා මගීන් තහවුරු කළද කාවන්තිස්‌ස හස්තියාගේ උදරයේ තිබී පශ්චාත් මරණ පරීක්ෂණයේදී සොයා ගත් උණ්ඩ සිය සේවාදායකයින් සමග අත් අඩංගුවට ගත් ගිනි අවි ඝමග සැසඳෙන බවක් රජයේ රස පරීක්ෂකවරයා තහවුරු කර නැති බවද කීවේය. ඒ අනුව මෙම කරුණු සුවිශේෂී කරුණු ලෙස සලකා ඇප පනතේ විධිවිධාන ප්‍රකාරව තම සේවාදායකයන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙස ද නීතිඥවරයා ඉල්ලා සිටියේය සියලු පාර්ශ්වවල කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් මහෙස්ත්‍රාත්‍ අනුරුද්ධිකා සෙනෙවිරත්න මෙනවිය සැකකරුවන් ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙසට නීතිඥවරුන් කළ ඉල්ලීම ඉවත දමමින් සැකකරුවන් දෙසැම්බර් මස 8 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළාය. යළි රක්ෂිත බන්ධනාගාරගත කළේ ඇහැටුවැව නිපුණතා සංවර්ධන නිලධාරියකු වන ආර්.එම්. ශාන්ත ධර්මසිරි රත්නායක සහ ආර්.එම්. ලක්මාල් යන සැකකරුවන්ය. ඔවුන් අඹන්පොල හුළුගල්ල පදිංචිකරුවන්ය.

 

More News..