අනුරාධපුරයට නව නිවාස 819ක්
19 September 2026 | චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය-ගලෙන්බිදුණුවැව
අනුරාධපුරයට නව නිවාස 819ක්
19 September 2026 | චින්තක ක්‍රීෂාන්ත බාලසුරිය-ගලෙන්බිදුණුවැව
ජාතික නිවාස සංවර්ධන අධිකාරිය මගින් ක්‍රියාත්මක කරනු ලබන ජාතික නිවාස වැඩසටහන යටතේ අනුරාධපුර දිස්ත්‍රික්කය පුරා මේ වන විට නව නිවාස 819ක් ඉදිකිරීම් කටයුතු ආරම්භ කර ඇති බව නිවාස, ඉදිකිරීම් සහ ජලසම්පාදන අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පැවසීය.
"තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක්" යන තේමාව යටතේ ක්‍රියාත්මක මෙම නිවාස වැඩසටහනට සමගාමීව, ගලෙන්බිඳුණුවැව, වෙම්බුවැව ප්‍රදේශයේ අසරණ පවුල් 22ක් සඳහා රුපියල් ලක්ෂ 220ක ප්‍රතිපාදන යටතේ නිවාස ඉදිකිරීමේ මුල්ගල් තැබීමේ උත්සවය ඊයේ උදැසන 10.00ට අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
පූජ්‍ය රාජකීය පණ්ඩිත ඇලපත්ගම ඥානරතන ස්වාමීන් වහන්සේ ඇතුළු සංඝරත්නයේ පිරිත් සජ්ජායනා මධ්‍යයේ පැවැති මෙම උත්සවයේදී, අදාළ නිවාස 22 සඳහා රුපියල් ලක්ෂ 10 බැගින් වූ චෙක්පත් ප්‍රදානය කිරීම ද අමාත්‍යවරයා අතින් සිදු වු අතර මෙම වසර තුළ අනුරාධපුර දිස්ත්‍රික්කයේ පවුල් 1,500කට ආසන්න සංඛ්‍යාවකට රජයේ පූර්ණ ආධාර මත නිවාස සාදා දීමට කටයුතු යොදා ඇති බව අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ පැවසීය.
ඒ යටතේ ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයේ නිවාස 72ක් ඉදිකෙරෙන අතර, වෙම්බුවැව ගමේ නිවාස 22හි වැඩකටයුතු දෙසැම්බර් 31ට පෙර අවසන් කිරීමට නියමිතය. මීට අමතරව 'දිට්ඨවා' සුළි කුණාටුවෙන් හානි වූ නිවාස සඳහා රුපියල් ලක්ෂ 50 බැගින් අනුරාධපුර පවුල් 518කට සහ ගලෙන්බිඳුනවැව පවුල් 17කට ලබාදෙන බවද පැවසීය.
රාජ්‍ය සේවකයන්ට සහ විදේශගත ශ්‍රමිකයන්ට සහන වශයේන් රාජ්‍ය සේවක නිවාස ණය පොලියෙන් කොටසක් දැරීමට රුපියල් මිලියන 500ක් වෙන් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය. ඒ අනුව බැංකු පොලිය 10%ක් වන විට රජය 4%ක් දරන බැවින් රාජ්‍ය සේවකයාට ගෙවීමට සිදුවන්නේ 6%ක පොලියක් පමණ ද විදේශගත ශ්‍රමිකයන්ට ද මෙවැනිම සහනදායී ණය ක්‍රමයක් ආරම්භ කර ඇත බව .
මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතියක් වන අනුරාධපුර ශික්ෂණ රෝහලට තට්ටු 8ක හෘද රෝග අංශයක් සහ තට්ටු 7ක ශල්‍යාගාර 10ක ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුදල් වෙන් කර ඇති අතර ද එමෙන්ම ඥාණික්කුලමේ පළමු 'බැටරි පද්ධති සූර්ය බලශක්ති ව්‍යාපෘතිය' විවෘත කර තිබේ.
තවද, 'පහළ මල්වතු ඔය' ජලාශ ව්‍යාපෘතිය නැවත ආරම්භ කර ඇති අතර, ප්‍රදේශයේ වැව් 6ක් ප්‍රතිසංස්කරණය කිරීමටත් ගලෙන්බිඳුනවැව වසම් 41හිම මාර්ග සංවර්ධනයටත් කටයුතු යොදා ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම අවස්ථාව සඳහා ගලෙන්බිඳුණුවැව ප්‍රාදේශීය සභාවේ සභාපති එස්. තිලකසිරි මහතා ඇතුළු මන්ත්‍රීවරුන්, අනුරාධපුර දිස්ත්‍රික් නිවාස සංවර්ධන අධිකාරියේ ඉහළ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්, සිවලාකුලම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිතුමන් ඇතුළු නිලධාරීන් මෙන්ම ප්‍රදේශයේ ජනතාව ද විශාල පිරිසක් සහභාගි වූහ.

