මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අතර HIV වෛරසය පැතිරීම ඉහළට
06 October 2026
මත්ද්‍රව්‍ය භාවිත කරන්නන් අතර HIV වෛරසය පැතිරීම ඉහළට
06 October 2026
මෙරට HIV වෛරසය වැළඳුණු රෝගීන් බහුල වශයෙන් වාර්තා වී ඇත්තේ මත්ද්‍රව්‍යට ඇබ්බැහි වූවන් අතර බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අමාත්‍යවරයා හමුවේ මේ වන විට පවතින වාර්තා අනුව කාන්තාවන්ට වඩා පිරිමි පුද්ගලයින් අතර රෝගය පැතිර ඇති බවට වාර්තා පෙන්වා දෙන බවත්ය.
මෙරටින් HIV වෛරසය වැළැඳුණු රෝගීන් වාර්තා වීම වසරින් වසර වැඩි අගයක් ගන්නා බව පසුගියදා ලිංගාශ්‍රිත රෝග පිළිබඳ ප්‍රජා විශේෂඥ වෛද්‍ය සත්‍යා හේරත් මහත්මිය අනාවරණයක් සිදුකළාය.
එහිදී ඇය පැවසුවේ මෙම රෝගය කොළඹ සහ ගම්පහ ප්‍රදේශවලින් වාර්තා වීම වැඩි අගයක් ගන්නා බවය.
අද (06) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධව තවදුරටත් කරුණු පෙන්වා දුන් අමාත්‍යවරයා පැවසුවේ සමාජ මාධ්‍ය හරහා යම් පිරිස් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සාද පවත්වන බවත් HIV වෛරසය පැතිරීම මෙයටත් හේතුවක් විය හැකි බවය.
පසුගිය 2025 වසරේදී මෙරටින් HIV වෛරසය වැළඳුණු රෝගීන් 874ක් වාර්තා වී ඇති බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා මෙම වසරේ එම රෝගීන් ප්‍රමාණය ඉක්මා ගොස් නැති නමුත් රෝගීන් වැඩිවිය හැකි යැයි අනුමානයක් පවතින බවද සඳහන් කළේය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා,
"2025 වර්ෂයට සාපේකෂව මේ වසරේදී වාර්තා වීම වැඩිවිය හැකි යැයි යම් අනුමානයක් පවතිනවා. ගිය වසරේදී නව රෝගීන් 874ක් වාර්තා වෙලා තිබුණා තාම ඒක ඉක්මවා ගිහිල්ලා නෑ. නමුත් ඒ ගැන අපි සැලකිලිමත් වෙමින් ඉන්නවා. කාන්තාවන්ට වඩා පිරිමින් අතර රෝගය පැතිරීම වැඩිවෙලා තියෙනවා. එකෙත් හඳුනාගෙන තියෙනවා මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවූවන් අතර තමයි මෙය වැඩිපුරම පවතින්නේ කියලා. සහ මීට අමතරව හෙපටයිටීස් බී වාර්තාවීමකුත් තියෙනවා ඒ අය අතර. මේ පිළිබඳව අපි අදාළ කොටස් දැනුවත් කරන්න කටයුතු කරලා තියෙනවා. ඔබ දන්නවා සමාජ මාධ්‍ය හරහා යම් යම් කණ්ඩායම් ඒකරාශි වෙලා මත්ද්‍රව්‍ය භාවිතා කරමින් කරන සාද පැවැත්වෙනවා. සමහර අවස්ථාවලදි පොලිසිය වැටලීම් කරනවා. ඒවාත් එක්ක මේකට සම්බන්ධයක් පැවැතිය හැකි යැයි විශ්වාසයක් පවතිනවා. මේ සම්බන්ධව අපේ දෙමව්පියන්, වැඩිහිටියන්, තරුණ තරුණියන් අවධානයෙන් ඉන්න ප්‍රශ්නයක් පැන නගිමින් පවතිනවා. ඒක අප්‍රිකාව වගේ දරුණු තත්ත්වයක් නෙමෙයි නමුත් එක්කෙනෙක් හරි අලුතින් වැඩිවෙනවා කියන එක ගැන අපි සැලකිලිමත් වෙනවා"

