ක්රීඩකයනි රොනාල්ඩෝගේ කැපවීම දෙස බලනු!
07 November 2026 | සසිත සේනානායක
ක්රීඩකයනි රොනාල්ඩෝගේ කැපවීම දෙස බලනු!
07 November 2026 | සසිත සේනානායක
ලොව පුරා පාපන්දු ලෝලීන්ගේ ආදරය දිනාගත් පෘතුගාල සුපිරි පාපන්දු ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ වසර 23ක සිය ජාත්‍යන්තර පාපන්දු දිවියට සමුදීමේ තීරණය ඉකුත්දා නිල වශයෙන් නිවේදනය කළේය. පෘතුගාලය වෙනුවෙන් ජාත්‍යන්තර පාපන්දු තරග 234කට එක්වෙමින්, පිරිමි ජාත්‍යන්තර පාපන්දු ඉතිහාසයේ වැඩිම තරග සංඛ්‍යාවකට සහභාගි වූ ක්‍රීඩකයා බවට පත් වූ ඔහු, ජාත්‍යන්තර ගෝල 146ක් රැස් කරමින් එම අංශයේ ද ලෝක වාර්තාවට හිමිකම් කියයි. පෘතුගාලය වෙනුවෙන් යුරෝපා ශූරතාවක් සහ 'නේෂන්ස් ලීග්' ශූරතා දෙකක් දිනාගැනීමට නායකත්වය දුන් ඔහු, පාපන්දු ඉතිහාසයේ අමතක නොවන පරිච්ඡේදයක් සනිටුහන් කර තිබේ.
නමුදු මේ සියල්ල රොනාල්ඩෝගේ ජීවිතයට අහසින් පාත් වූ දේ නොවේ. ඒ වයස අවුරුදු 12 සිට ඔහු කළ කැපකිරීම්, අභියෝග හමුවේ නොසැලී සිටීම සහ තමන්ගේ හැකියාවන් දිනෙන් දින වර්ධනය කරගැනීමට දැරූ උත්සාහයේ ප්රතිඵලයයි. සාමාන්‍ය ක්‍රීඩකයෙකුට පමණක් නොව, ජාත්‍යන්තරයේ විශිෂ්ට ක්‍රීඩකයෙකුට පවා අභියෝගයක් වන තරමේ කැපවීමක් ඔහු සිය වෘත්තීය ජීවිතය පුරා පවත්වාගෙන ගියේය. ක්‍රීඩාව වෙනුවෙන් වූ කැපවීම, මානසික ඒකාග්‍රතාව සහ ශාරීරික යෝග්‍යතාව යන අංශ තුනම තම ජීවිතයේ ප්‍රමුඛතාව බවට පත්කර ගැනීමට ඔහු සමත් විය.
1985 පෙබරවාරි 5 වැනිදා පෘතුගාලයේ මැඩෙයිරා දූපතේ උපත ලද ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ, වයස අවුරුදු 12ක් වනවිට සිය පවුලෙන් ඈත්ව පෘතුගාලයේ ලිස්බන් නුවර පිහිටි 'ස්පෝර්ටිං සී.පී.' පාපන්දු ඇකඩමිය සමග එක්විය. ආදරණීය පවුලෙන් දුරස්වීමේ වේදනාව, නුහුරු පරිසරයක ජීවත්වීමට හුරුවීම, තරගකාරී පාපන්දු පුහුණුවීම් සහ තමන්ගේ හැකියාවන් ඔප්පු කිරීමේ අභියෝගය යනාදී සියල්ලට මුහුණදීමට කුඩා වියේදීම ඔහුට සිදුවිය.
එහෙත් ඒ අභියෝග ඔහුගේ ගමන නතර කළේ නැත. ඒ වෙනුවට ඒවා ඔහුගේ මානසික ශක්තිය වර්ධනය කළේය. තරුණ වියේදී අනෙකුත් ක්‍රීඩකයන්ට සාපේක්ෂව ශාරීරිකව එතරම් ශක්තිමත් ක්‍රීඩකයෙකු නොවූ රොනාල්ඩෝ, තමන්ගේ ශරීර ශක්තිය, වේගය, බලය සහ දරාගැනීමේ හැකියාව වර්ධනය කරගැනීමට අඛණ්ඩව වෙහෙසුණේය. ඔහුගේ ගමනේ සුවිශේෂීත්වය වන්නේ උපතින් ලද දක්ෂතාව මත පමණක් රඳා නොසිට, තමන්ට අඩු යැයි හැඟුණු සෑම හැකියාවක්ම වැඩිදියුණු කරගැනීමට උත්සාහ කිරීමයි.
යම් ක්‍රීඩාවක දක්ෂතාව තිබීම එක් දෙයකි. එම දක්ෂතාව ලෝක මට්ටමේ ප්‍රතිඵලයක් බවට පත්කර ගැනීම තවත් දෙයකි. රොනාල්ඩෝගේ සාර්ථකත්වය පිටුපස ඇති ප්‍රධානතම රහසක් වන්නේ ඔහු සතු වූ තරගකාරී මානසිකත්වයයි. තමන්ට වඩා දක්ෂ ක්‍රීඩකයෙකු සිටින බව දැනගත් විට පසුබසිනවා වෙනුවට, ඔහු තමන්ගේ හැකියාවන් තවදුරටත් වර්ධනය කරගැනීමට එය අභියෝගයක් කරගත්තේය. තරගයක් පරාජය වූ විට එය අමතක කර ඊළඟ තරගයට පමණක් අවධානය යොමු කිරීම වෙනුවට, පරාජයට හේතු වූ දුර්වලතා හඳුනාගෙන ඒවා නිවැරදි කරගැනීමට උත්සාහ කිරීම ඔහුගේ වෘත්තීය ආකල්පයේ වැදගත් ලක්ෂණයකි.
රොනාල්ඩෝගේ ක්‍රීඩා දිවිය දෙස බලන විට ඔහුගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳව විශේෂ අවධානයක් යොමු කළ යුතුය. පාපන්දු ක්‍රීඩකයෙකුට අවශ්‍ය වන්නේ ශක්තිමත් ශරීරයක් පමණක් නොවේ. වේගය, නම්‍යශීලීභාවය, සමබරතාව, ක්ෂණික ප්‍රතිචාර දැක්වීම සහ දීර්ඝ වේලාවක් ක්‍රීඩා කිරීමේ දරාගැනීම ද එකසේ වැදගත්ය. රොනාල්ඩෝගේ පුහුණු රටාව තුළ මේ සියලු අංශ සඳහා අවධානය යොමුකර තිබේ.
විශේෂයෙන්ම ඔහුගේ හිසින් ගෝල ලබාගැනීමේ හැකියාව ලෝක පාපන්දු පිටියේ නිතර කතාබහට ලක්වූවකි. එය හුදෙක් උස පැනීමේ හැකියාවක් නොවේ. පාදවල ශක්තිය, ශරීරයේ සමබරතාව, පැනීමේ වේගය, නිවැරදි වේලාව තෝරාගැනීම සහ ශරීරය පාලනය කිරීම යන සියල්ල එහිදී වැදගත් වේ.
රොනාල්ඩෝගේ සාර්ථකත්වය පිටුපස ඇති තවත් වැදගත් කරුණක් වන්නේ ඔහු පුහුණු පිටියෙන් පිටත ගතකරන ජීවිතයයි. ඔහුගේ අදහස අනුව දක්ෂ ක්‍රීඩකයෙකු වීමට පුහුණු කාලය තුළ පමණක් වෙහෙසීම ප්‍රමාණවත් නොවේ. පුහුණුවෙන් පසු ශරීරය යථා තත්ත්වයට පත්කර ගැනීම, නිසි නින්දක් ලබාගැනීම, පෝෂණය පිළිබඳ සැලකිලිමත් වීම සහ ශරීරයේ සූදානම නිරීක්ෂණය කිරීම ද එකසේ වැදගත්ය. මෙම සංකල්පය ක්‍රීඩා විද්‍යාවේදී ඇතැම් විට 'Invisible Training' හෙවත් ඇසට නොපෙනෙන පුහුණුව ලෙස හඳුන්වයි.
රොනාල්ඩෝ සිය නින්ද, ශරීරයේ ප්‍රතිසාධනය සහ දෛනික ක්‍රියාකාරකම් පිළිබඳව දත්ත නිරීක්ෂණය කිරීමට ද අවධානය යොමුකරයි. සම්මුඛ සාකච්ඡාවකදී ඔහු තම දෛනික ශාරීරික සූදානම, නින්ද සහ ප්‍රතිසාධනය නිරීක්ෂණය කරන ආකාරය පිළිබඳව කරුණු අනාවරණය කර තිබේ.
රොනාල්ඩෝගේ ශාරීරික යෝග්‍යතාව පිළිබඳ කතා කිරීමේදී ඔහුගේ ආහාර රටාව ද අමතක කළ නොහැකිය. ක්‍රීඩකයෙකුට ආහාර යනු කුසගින්න නිවාගැනීම සඳහා පමණක් ඇති දෙයක් නොවේ. එය ශක්තිය ලබාගැනීමට, මාංශපේශී යථා තත්ත්වයට පත්කර ගැනීමට සහ ශරීරයේ ක්‍රියාකාරීත්වය පවත්වාගෙන යාමට අවශ්‍ය මූලික සාධකයකි.
රොනාල්ඩෝගේ ආහාර රටාව තුළ මාළු, කුකුළු මස්, බිත්තර, එළවළු, පලතුරු සහ සම්පූර්ණ ධාන්‍ය වැනි පෝෂ්‍යදායී ආහාරවලට ප්රමුඛත්වයක් හිමිවේ. ප්‍රමාණවත් ජලය පානය කිරීම, සීනි අධික පානයන් සහ අධික ලෙස සැකසූ ආහාර සීමා කිරීම වැනි පුරුදු ද ඔහුගේ ජීවන රටාවේ කොටසකි.
ඔහුගේ වෘත්තීය ජීවිතය දෙස බලන විට වඩාත්ම කැපී පෙනෙන කරුණක් වන්නේ දශක දෙකකට වැඩි කාලයක් ඉහළ මට්ටමේ පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස රැඳී සිටීමට ඔහු සමත් වීමයි.
තරුණ ක්‍රීඩකයෙකු ලෙස ලෝකය මවිත කළ වේගය, පසුව අත්දැකීම් සහ ක්‍රීඩා බුද්ධිය සමඟ මුසුකර ගැනීමට ඔහුට හැකි විය. වයස වැඩිවන විට ශාරීරික හැකියාවන් වෙනස් වන බව ඔහු පිළිගත්තේය. එහෙත් ඒ වෙනසට අනුව තමන්ගේ ක්‍රීඩා රටාව ද වෙනස් කරගත්තේය. එය ක්‍රීඩකයෙකුගේ මානසික පරිණතභාවය පිළිබඳ හොඳ උදාහරණයකි.
තමන්ගේ අතීත ජයග්‍රහණ ගැන පමණක් සිතමින් නතර නොවී, ඊළඟ දිනයේදීත් තමන්ගේ උපරිමය ලබාදීමට සූදානම් වීම ඔහුගේ දිගුකාලීන සාර්ථකත්වයට බලපෑ වැදගත් සාධකයකි.
ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ යනු ක්‍රීඩා පිටියේ දක්ෂතා පෙන්වන ක්‍රීඩකයෙකු පමණක් නොවේ. ඔහු රුධිරය පරිත්‍යාග කිරීමේ වැදගත්කම පිළිබඳවද අවධානය යොමු කර ඇති අතර වයස 24 පමණ සිට නිතිපතා රුධිර පරිත්‍යාගය සිදු කරන බව වාර්තාවල සඳහන්ව ඇත. රුධිරය පරිත්‍යාග කිරීමේ අභිලාෂය හේතුවෙන්ම ඔහු සිය සිරුරේ 'පච්චා' කෙටීමෙන් ද වැළැකුණෙකි. රුධිර පරිත්‍යාගයට අමතරව, ඔහු ඇටමිඳුලු පරිත්‍යාගයේ වැදගත්කම ගැන ද කතා කළ අයෙකි.
දක්ෂතාව තිබීම පමණක් යමෙකුගේ සාර්ථකත්වයට ප්‍රමාණවත් නැත. එම දක්ෂතාව ඔපමට්ටම් කරගැනීමට කැපවීම අවශ්‍යය. ශරීරය රැකගැනීමට විනය අවශ්‍යය. අභියෝග හමුවේ නොවැටී සිටීමට මානසික ශක්තිය අවශ්‍යය. එසේම ජයග්‍රහණ ලැබූ පසුත් තවදුරටත් ඉගෙනීමට සහ වැඩිදියුණු වීමට කැමැත්තක් තිබිය යුතුය. සාමාන්‍ය ක්‍රීඩකයකු සහ වෘත්තීමය ක්‍රීඩකයකු ප්‍රධාන වශයෙන් වෙනස් වන්නේ මෙතැනිනි. ඔහුගේ ප්‍රධාන වෘත්තිය ක්‍රීඩාව නම්, ඔහු ඒ වෙනුවෙන් ඇප කැපවිය යුතුම ය. "මම දැන් ජාතික කණ්ඩායමට තේරුණා. දැන් සියල්ල හරි" යන මානසිකත්වයෙන් නොසිට, නිරන්තර තමන්ගේ තත්ත්වය ඉහළ නංවා ගැනීමට කටයුතු කළ යුතුමය. එසේ නොවන්නට ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායමක එල්ලී සිටිනවා විනා, ජාතික කණ්ඩායමක ඉදිරි ගමනට ඔහුගෙන් කිසිදු සහයක් නොමැත. සිරුරේ කැටයම් කොටා, තම සමාජ මාධ්‍ය ගිණුමට සරිලන පරිදි 'එදා වේල ක්‍රීඩාවක්' කරමින් සිටින මෙරට ඇතැම් ක්‍රීඩකයෝ ද තම උපරිම ශක්තිය සහ කැපවීම තමන්ගේ අභිවෘද්ධිය මෙන්ම ක්‍රීඩාවේ අභිවෘද්ධිය වෙනුවෙන්ද යොදවන්නේද යන්න රොනාල්ඩෝ දෙස බලා සිතිය යුතු කරුණකි.
සසිත සේනානායක

