brand logo
logo
හරක් කටාගේ තීන්දුවකට එරෙහිව අභියාචනයක්

හරක් කටාගේ තීන්දුවකට එරෙහිව අභියාචනයක්

20 August 2026 | කේ.එස්. උදයකුමාර


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ගොනු කර තිබෙන චෝදනා පවත්වාගෙන යාමට නොහැකි බවට කොළඹ මහාධිකරණය විසින් ඉකුත්දා දුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව නීතිපතිවරයා අද (20) කොළඹ මහාධිකරණය හමුවේ දැනුම් දුන්නේය. 


මෙම නඩුව ඊයේ (19) කොළඹ මහාධිකරණය විනිසුරු බුද්ධික සී රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබු අවස්ථාවේදී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම අධිකරණය විසින් මීට පෙර ලබාදුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බව සඳහන් කළේය.


ඒ අනුව පැමිණිල්ල විසින් තම නියෝගයකට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කර තිබෙන බැවින් විත්තිකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් මෙම අවස්ථාවේදී නියෝගයක් නිකුත් නොකරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.


මෙම නඩුව ඊයේ කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර හරක් කටා "සූම්" තාක්ෂණික අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.


රූපවාහිනී තිරය ඔස්සේ ඔහු සිය අත ඔසවමින් සඳහන් කර සිටියේ" සුදුසු බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග කර තිබුණත් මේ වන විට මාව රඳවලා තිබෙන්නේ නාවික හමුදා කඳවුරකයි. තංගල්ල පැරණි බන්ධනාගාරයේ සිටි අවස්ථාවේදී මගේ දණ හිස් ආබාධයකට ආයුර්වේද ප්‍රතිකාර ලබා දුන්නා. ඒත් දැන් එම ප්‍රතිකාර ලැබෙන්නේ නෑ." යනුවෙන් සඳහන් කර සිටියේය.


මෙහිදී හරක් කටා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජාලිය සමරසිංහ මහතා අධිකරණයට දන්වා සිටියේ සිය සේවා දායකයා සුදුසු බන්ධනාගාරයක රඳවා තබන ලෙස නියෝග නිකුත් කර තිබුණත් ඔහු රඳවා සිටින්නේ නාවික හමුදා නිලධාරීන් භාරයේ බවයි. 


බන්ධනාගාරයක මේ විත්තිකරු රඳවා තිබෙන්නේ නම් ඔහු අසල නාවික හමුදා නිලධාරියෙකු සිටින්නේ කෙස් දැයි මෙහිදී නීතිඥවරයා ප්‍රශ්න කළේය.


ඒ අවස්ථාවේදී රජයේ නීතිඥවරයා සඳහන් කළේ මෙම විත්තිකරු වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රයේ පිහිටා තිබෙන විශේෂ බන්ධනාගාරයේ රඳවා තිබෙන බවයි.


කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නියෝග කළේ විත්තිකරු විසින් ඉල්ලා සිටින වෛද්‍ය ප්‍රතිකාර වේ නම් ඒවා ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.


මෙම විත්තිකරු නාවික හමුදා භාරයේ රඳවා සිටින බවට කරුණු ඉදිරිපත් කර තිබෙන බැවින් ඒ පිළිබඳව අවධානය යොමු කර විත්තිකරු බන්ධනාගාර නිලධාරින් භාරයේ රඳවා තැබීමට නියෝග කරන බවත් විනිසුරුවරයා නියෝග කළේය.


ඉන් අනතුරුව මෙම නඩුකරය ඔක්තෝබර් මස 7 වනදා කැඳවන ලෙසත් විනිසුරුවරයා නියෝග කළේය.


අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා කරමින් ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනු කර තිබේ.

 

More News..