brand logo
logo
දෙකයි දෙක නොහොත් ආණ්ඩුවේ මැජික් පොල්ල

දෙකයි දෙක නොහොත් ආණ්ඩුවේ මැජික් පොල්ල

05 September 2026

"ආණ්ඩුවට අවුරුදු දෙකයි රටට සුබයි කියන්නෙ නිකමටම නෙවෙයි" මම බිරිඳට කියා සිටියෙමි. "කොහොම කොහොම හරි ආණ්ඩුව රට ගොඩදාන මැජික් පොල්ල හොයාගත්තා අන්තිමේදි"

බිරිඳ මා දෙස සැකයෙන් බැලුවාය.


"මැන්ටල්ද හලෝ? මොනවද ඔහේ මේ කියවන්නෙ?" ඕ මගෙන් ඇසුවාය. "ආණ්ඩුව දිනපතාම රෙදි නැතුව නානව පේන්නෙ නැද්ද?'

"හරි, හරි නෝනා. ඒවා නම් එහෙම තමයි" මම ඇයට වගඋත්තර කීවෙමි. "ඒ වුණාට ඔය ඔක්කොම අවුල් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව එනකල් විතරයිනෙ. ඊට පස්සෙ ඉතින් රට ගොඩනෙ"

බිරිඳගේ ඇස් ලොකු විය.

"ඒ කොහොමද ඒ?" ඈ මගෙන් ප්‍රශ්න කළාය. "නඩුකාරයින්ගෙ සේවා කාලෙ දෑවුරුද්දකින් කල් දැම්ම කියල රට ගොඩයන්නෙ කොහොමද?"

මම බිරිඳට කරුණු පහදන්නට වූයෙමි.

"මේක රට වැටිල ඉන්න වළෙන් ගොඩදාන්න අත්‍යවශ්‍ය ව්‍යවස්ථා සංශෝධනයක් කියලනෙ ආණ්ඩුව කියන්නෙ" මම බිරිඳ දැනුවත් කළෙමි. "ඒ කියන්නෙ විසිදෙක සම්මත වෙච්චි ගමන් රට ගොඩයන්න පටන්ගන්නව. දැන් අවුරුදු දෙකක් තිස්සෙ රට ගොඩදාන්න බැරි වෙන්න ඇත්තෙ ඕක තිබුණෙ නැති නිසා."

"ඒ කොහොමද එහෙම වෙන්නෙ?"

"ඒක නම් මමත් දන්නෙ නෑ හරියටම" මම බිරිඳට අවංකව කියා සිටියෙමි. "ඒත් ජනාධිපතිතුමා කියපු දේ කරන, කරන දේ කියන මනුස්සයෙක් වෙච්චි. එතුමා කියනව නම් විසිදෙකෙන් රට ගොඩයනවා කියල, විසිදෙකෙන් රට ගොඩයනවාම තමයි. ආයෙ කවදාවත් හතුරෙක්වත් කියන්නෙ නෑනෙ එතුමා පච කෙළිනවා, රට රවටනවා කියල"

එහෙත් මා කියන දේ පිළිගැනීමට බිරිඳ අකැමැති වූවාය.

"ඔහේට නිකමටවත් හිතෙන්නෙ නැද්ද ඔය අහිංසක විසිදෙක පිටිපස්සෙ අපිට නොපෙනෙන රාස්සයෙක් ඇති කියල" බිරිඳ විමසුවාය. "නැත්නම් ආණ්ඩුව මොකටද මේක කරනවා කරනවමයි කියල ඔච්චර නහින්න හදන්නෙ? යකෝ, ව්‍යවස්ථාව වෙනස් කරන්න කිසිම උවමනාවක් නැති ආණ්ඩුවට එක වගන්තියක් සංශෝධනය කරන්න මොකක්ද මෙච්චර තියෙන රුදාව?"

මම බිරිඳ අස්වසන්නට උත්සාහ කළෙමි.

"මම හිතන්නෙ ඔයයි, මමයි වගේ හුදී ජනතාවට මේක තේරෙන්නෙ නැතුව ඇති නෝනා. අර රජ්ජුරුවන්ගෙ ඇඳුම වගේ බුද්ධිමතුන්ට විතරයි පේනවා ඇත්තෙ. ආණ්ඩුවෙ ඉන්නෙ ඔක්කොම බුද්ධිමත්තු නිසා එයාලට මේක තේරෙනවා ඇති" මම බිරිඳට කියා සිටියෙමි. "දැන් බලන්න ජනාධිපතිතුමා කිව්වනෙ මේක ක්‍රියාත්මක කරන්න ඕන අවදානමක් ගන්න ලෑස්තියි කියල. මේකෙ මහ විශාල වටිනාකමක් නැත්නම් නඩුකාරයින්ගෙ සේවා කාලෙ දික්කරන්න අහවල් රෙද්දටද එතුමා අවදානමක් ගන්නෙ?"

බිරිඳගේ කණස්සලු මුහුණ වෙනස් ⁣වුණේ නැත.

"ඒ වුණාට මට නම් හිතෙන්නෙම මේකෙ මොකක් හරි උගුලක් තියෙනවාමයි කියල" ඕ කියා සිටියාය. "රටට මේකෙන් නරකක් මිස හොඳක් වෙයි කියල මට නම් හිතෙන්නෙ නෑ"

මට බිරිඳ ගැන දුක හිතුණේය.

"එහෙම නම් හිතන්න එපා නෝනා" මම ඇයට කියා සිටියෙමි. "දැන් බලන්න ජේවීපියට අවුරුදු හැටකුත් වුණා. ඔය අවුරුදු හැටේ ඉතිහාසෙදි කවදාවත් ඒගොල්ලොන්ගෙන් රටට අවැඩක්, අලාබයක් සිද්දවෙලා තියෙනවද?'





© 2026 All Rights Reserved. Powered by Summit


 

More News..