brand logo
logo
ගම්පොළ කෝවිල අසලින් මතුවූ දිලිසෙන ගලට පොලිස් ආරක්ෂාව

ගම්පොළ කෝවිල අසලින් මතුවූ දිලිසෙන ගලට පොලිස් ආරක්ෂාව

20 January 2026 | සුරංග රාජනායක - ගම්පොළ / කමල් සුරවීර - මහනුවර


“දිට්වා“සුළි කුණාටුවෙන් නායයෑමට ලක්වූ ගලහා, දෙල්තොටවත්ත ගල්ලන්තැන්න පහළ කොටසේ පිහිටා තිබෙන ශ්‍රී මුත්තු මාරි අම්මාන් කෝවිල අසලින් විශාල නිල් පැහැති පොකුරක් ආකාරයෙන් දිස්වන පාෂාණයක් මතුවීම හේතුවෙන් එම ස්ථානයට පොලිස් ආරක්ෂාව යොදා ඇත. මෙම පාෂාණය මැණික් ගලක් වියහැකි බවට සැක කෙරේ.


දිට්වා සුළි කුණාටු සමයේ ඇතිවූ නාය යෑමත් සමග මෙම පාෂාණය ඉහළ ප්‍රදේශයක සිට පහළ කොටසට තල්ලු වී පැමිණ තිබෙන බවට සැකකෙරේ. නායයෑමෙන් ප්‍රදේශයේ නිවාස කීපයකට සහ කෝවිලට ද හානි සිදු වූවේය. මෙම කෝවිල එළැඹෙන මාර්තු මාසයේදී විවෘත කිරීමට නියමිතව පැවතුණි. එය ඉදිකර ඇත්තේද ප්‍රදේශවාසීන් එකතු කරන ලද මුදල්වලිනි.


ආපදා තත්ත්වයෙන් පසුව කෝවිල අසල විවිධ වර්ණයන්ගෙන් යුතු ගලක් තිබෙන බව මුලින්ම දැක ඇතැයි පැවැසේ. එම ස්ථානයෙන් යම් ආලෝකයක් විහිදෙන බවට පැතිර ගිය ප්‍රචාරය හේතුවෙන් විශාල පිරිසක් එම පාෂාණය නැරඹීමට පැමිණ ඇති අතර, එය පාලනයට ගලහා පොලිසිය විසින් ආරක්ෂාව යොදා ඇත.


ටොන් එකක පමණ බරක් ඇති මෙම පාෂණය මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ නිලධාරින් කණ්ඩායමක් ඊයේ (19 වැනිදා) සවස පරීක්ෂා කර තිබේ.


මෙය පොකුරක් ආකාරයට තිබෙන යම් විශේෂ ගල් වර්ගයක් බවත් එය ස්ථිර ලෙසම මැණික් ගලක් ද යන්න තහවුරු කළ නොහැකි බව මැණික් හා ස්වර්ණාභාරණ අධිකාරියේ නිලධාරීන් පවසා ඇත.


දින කිහිපයක් තුළ නැවත එම අදාළ ස්ථානය මැණික් හා ස්වර්ණභාරණ අධිකාරියේ නිලධාරීන් පරීක්ෂා කිරීමට නියමිත අතර එම පාෂණ සම්බන්ධයෙන් ස්ථිර නිගනමනයකට පැමිණෙන තෙක් විශේෂ ආරක්ෂාවක් යෙදීමට පොලිසිය කටයුතු යොදා ඇත.

 

More News..