ශ්‍රී ලංකා වොලිබෝල් පිල අද තෙවැනි තැනට සටනේ
29 July 2026
ශ්‍රී ලංකා වොලිබෝල් පිල අද තෙවැනි තැනට සටනේ
29 July 2026
පාකිස්තානයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන මධ්‍යම අසියානු වොලිබෝල් ශූරතාවලියේ තෙවැනි ස්ථානය සඳහා වන තරගය අද (29 වැනිදා) ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර පැවැත්වීමට නියමිතය.
තරගාවලියේ අවසන් පූර්ව වටය යටතේ තරග කළ ශ්‍රී ලංකා පිල පරාජය කරමින් අපරාජිතව අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට පාකිස්තානය ඊයේ (28 වැනිදා) සමත් විය.
මූලික වටය අවසානයේ ප්‍රසාද ලකුණු සටහනෙහි පළමු සහ සිව්වැනි ස්ථාන පිළිවෙළින් හිමිකරගත් පාකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර අවසන් පූර්ව තරගයේ පළමු වටය තුළ ශ්‍රී ලංකා පිල යම් තරගයක් දුන් නමුත් ලකුණු 25-18ක් ලෙස ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට පාකිස්තාන ක්‍රීඩකයෝ සමත් වූහ. කෙසේ වෙතත් දෙවැනි වටයේ ශ්‍රී ලංකා කණ්ඩායමට ප්‍රබල අභියෝගයක් එල්ල කළ පාකිස්තාන පිල ලකුණු 25-10ක පහසු ජයක් හිමිකර ගත්තේ සුවිශේෂී ක්‍රීඩා විලාශයක් සමගිනි. අනතුරුව තෙවැනි වටයේ ලකුණු 25-21ක තියුණු ජයක් සමගින් තරග වට 3-0ක ජයක් තහවුරු කර ගැනීමට පාකිස්තානය සමත් විය.
මේ අනුව අවසන් මහා තරගය සඳහා පාකිස්තානය සහ බංග්ලාදේශය සුදුසුකම් ලබා ගනිද්දී, අද උස්බෙකිස්තානය සහ ශ්‍රී ලංකාව අතර තෙවැනි ස්ථානය සඳහා වන තරගය මෙරට වේලාවෙන් පස්වරු 1.30ට පැවැත්වීමට නියමිතය.

