වියළි මිරිස් හිඟවීමේ අවදානමක්
01 October 2026 | ශිරාන් රණසිංහ
වියළි මිරිස් හිඟවීමේ අවදානමක්
01 October 2026 | ශිරාන් රණසිංහ
ඉන්දියාවේ සිට මෙරටට ආනයනය කළ වියළි මිරිස් ටොන් 1150 ක් මුදා හැරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය හා ආහාර ආරක්ෂක ඒකකය අවසර නොදීම නිසා ඉදිරි මාසයේදී මෙරට බරපතළ මිරිස් හිඟයක් ඇතිවන බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය සඳහන් කරයි.
රුපියල් කෝටි 1500 ක් වටිනා මෙම මිරිස් තොගය වෙළෙඳ පොළට නිකුත් නොකිරීම හේතුවෙන් ඉදිරියේදී මෙම හිඟය ඇතිවන බව එම සංගමය වෙළෙඳ අමාත්‍යාංශයට දැනුම් දී තිබේ.
මීට පෙරාතුව ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLS) මගින් පමණක් මෙරටට ආනයනය කරන ආහාර ද්‍රව්‍යවල ප්‍රමිතිය පරීක්ෂා කළ නමුත් මේ වනවිට සෞඛ්‍ය අමාත්‍යාංශයද වෙනම පරීක්ෂණයක් කරන බව එම සංගමයේ ලේකම් එම්. සුබ්‍රමනියම් ‘අරුණ’ ට පැවැසීය.
මෙම වියළි මිරිස් සාම්පලවල පුස් වර්ග ඇෆ්ලටොක්සීන් (Aflatoxin) සියයට දොළහ (12%) සීමාව ඉක්මවා දොළහයි දශම පහක් (12.5%) අඩංගු බව කියමින් එම තොග මුදාහැරීම ප්‍රතික්ෂේප කර ඇතැයිද ඔහු කීවේය.
මෙම වියළි මිරිස් තොග මුදාහරින ලෙස ඉල්ලමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතාව හා සමුපකාර අමාත්‍ය වසන්ත සමරසිංහ ඇතුළු නිලධාරීන් සමග කිහිප වරක්ම සාකච්ඡා කළ නමුත් මාස එකහමාරක් තිස්සේ එම තොග නිදහස් කරගැනීමට නොහැකිව ඇත.
මෙම වියළි මිරිස් තොග නිදහස් කරගැනීමට නොහැකිවීම හේතුවෙන් ආනයනකරුවන්ද කලකිරීමට පත්ව සිටින අතර ඉන්දියාවේ අපනයනකරුවන්ද මෙරටට වියළි මිරිස් ලබාදීම ප්‍රතික්ෂේප කිරීමට පටන්ගෙන ඇතැයිද ඔහු අනාවරණය කළේය.
මේ හේතුවෙන් මෙම තොග වහාම මුදාහැරීමට රජය අවශ්‍ය පියවරක් නොගතහොත් ඉදිරියේදී වියළි මිරිස් හිඟයක් ඇතිවී ඒවායේ මිල ගණන්ද ඉහළ යනු ඇතැයි ආනයනකරුවෝ පවසති.

