brand logo
logo
ශ්‍රී ලංකා - පාකිස්තාන අවසන් පන්දුවාර 20 ගැටුම අද

ශ්‍රී ලංකා - පාකිස්තාන අවසන් පන්දුවාර 20 ගැටුම අද

13 October 2026

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් විස්සයි විස්ස තරගාවලියේ අවසන් තරගය අද (13 වැනිදා) රාවල්පිණ්ඩි ක්‍රීඩාංගණයේදීම පැවැත්වීමට නියමිතය.


තරගාවලියේ පළමු සහ දෙවන තරග දෙකම පරාජය වූ ශ්‍රී ලංකා කණ්ඩායමට තරගාවලිය ගෞරවාන්විතව නිමා කිරීමට අද අවසන් අවස්ථාව හිමිවන අතර අනතුරුව ඇරැඹීමට නියමිත එක්දින තරගාවලියට යහපත් මානසිකත්වයකින් පිවිසීමට ද අද තරගයේ ප්‍රතිපලය වැදගත් වනු ඇත. පිතිකරුවන්ට මෙන්ම පන්දු යවන්නන්ටද හිතකර රාවල්පිණ්ඩි පිටියේ නිමා වූ තරග දෙකෙහිදීම ශ්‍රී ලංකා පිතිකරුවන්ගේ අතිශය දුර්වල ක්‍රීඩා රටාව වඩාත් ඉස්මතු වූ අතර දෙවැනි තරගයේදී පන්දු රැකීමද ඇතුළු සියලු අංශවල පසුබැසීම තරග පරාජයට හේතුවිය. මෙම තත්ත්වයද සමගින් අද තරගයේදී පූර්ණ තරගාවලි ජයක් අපේක්ෂාවෙන් පිටියට පිවිසෙන පාකිස්තාන කණ්ඩායමෙන් ශ්‍රී ලංකාවට ප්‍රබල අභියෝගයක් එල්ල වනු ඇත.


පාකිස්තාන - ශ්‍රී ලංකා ද්විපාර්ශ්වික විස්සයි විස්ස තරගාවලි ඉතිහාසයේදී තරග 2ක් හෝ වැඩි ගණනක් සහිත තරගාවලි 2කින් පූර්ණ ජයග්‍රහණ වාර්තා කිරීමට පාකිස්තානය සමත්ව ඇති අතර අවසන් වරට 2017 වසරේදී 3-0ක් ලෙස පූර්ණ තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් විය.


හඹායන කණ්ඩායමට වැඩි වාසි සහිත රාවල්පිණ්ඩි පිටියේ කාසියේ වාසිය තීරණාත්මක සාධකයක් වුවද, ශ්‍රී ලංකා කණ්ඩායම පෙර තරග ද්විත්වයේදීම කාසියේ වාසිය දිනා තරග පරාජය වීම කැපී පෙනෙන කරුණක් විය. කෙසේ වෙතත් හඹා ‍යාම හෝ පළමුව පන්දුවට පහරදීම යන ඕනෑම අවස්ථාවක, තවමත් ආරම්භක පිතිකරු යුගලය අත්හදා බලන ශ්‍රී ලංකා කණ්ඩායමට ඉහළ ලකුණු පුවරුවක් ගොඩනැගීම සඳහා ස්ථිර ආරම්භයක් ලබාගැනීම මෙන්ම සාර්ථක සබඳතා අත්‍යවශ්‍ය සාධකයක් වනු ඇත. රාත්‍රි තරගයක් ලෙසින් පැවැත්වෙන අද තරගය ද සුපුරුදු පරිදි සවස 6.30ට ඇරැඹීමට නියමිතය.

 

More News..