පළාත් සභා මතක් වී
07 August 2025
පළාත් සභා මතක් වී
07 August 2025
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රි දයාසිරි ජයසේකර ඊයේ පෙරේදා මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේය. එහිදී ඔහු වහාම පළාත් සභා ඡන්ද පවත්වන ලෙසද නොඑසේ නම් පළාත් සභා අහෝසි කර දමන ලෙසද ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. රටේ ප්‍රශ්නවල කරවටක් එරී සිටින ආණ්ඩුවේ ප්‍රමුඛතා අතර මේ අවස්ථාවේ පළාත් සභා ඡන්දය ඇත්තේ නැති බව අමුතුවෙන් කියන්නට ඕනෑ නැත. ඉන්දු ලංකා ගිවිසුමෙන් මෙරටට බලහත්කාරයෙන් පටවන ලද පළාත් සභා ක්‍රමය අහෝසි කරදැමීම පළාත් සභා ඡන්දය පවත්වනවාට වඩා බොහෝ දුෂ්කර බවද දන්නෝ දනිති. ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයකු වන දයාසිරි ජයසේකර මේවා නොදන්නවා නොවේ. ඔහු පළාත් සභා ඡන්ද ඉල්ලන්නේ බලය විමධ්‍යගත කළ යුතු නිසා හෝ ඡන්දදායකයන්ගේ ඡන්ද අයිතිය නැතිවී ගොස් ඇති නිසා හෝ නොවේ. දේශපාලන වශයෙන් හුස්ම ගැනීමට පවා අපහසුවෙන් සිටින දුර්වල විපක්ෂයට මෙබඳු ඔක්සිජන් නැතුව බැරි නිසාය.
2017දී පළාත් සභා ඡන්ද දින නියමයක් (හරියටම කියනවා නම් කාල නියමයක්) නැතිව කල්දැමීම මේ රටේ තිබෙන කබල් දේශපාලනයේ නිරුවත අමුඅමුවේ ප්‍රදර්ශනය කෙරුණු අවස්ථාවකි. ඒ අවස්ථාවේ පළාත් සභා මැතිවරණය පැවැත්වූයේ නම් ඇපත් නැතිව පරදින බව සහසුද්දියෙන් දැන සිටි ආණ්ඩුවට ඕනෑ වූයේ කවර මගඩියක් කර වුව ඡන්දය කල් දමා ගැනීමටය. එය පටන්ගත්තේ පළාත් සභා මැතිවරණ සංශෝධනයක් කරන්නට යන ව්‍යාජයෙනි. එහෙත් ඒ සඳහා පනතක් ඉදිරිපත් කළහොත් එය ශ්‍රෙෂ්ඨාධිකරණය ඉදිරියට යන බවත්, අනතුරුව මැතිවරණය පවත්වන්නට වන බවත් ආණ්ඩුව දැන සිටියේය. එබැවින් පනත වෙනුවට ගෙනාවේ පනතට සංශෝධනයකි. අවසානයේදී පනතට සංශෝධනය ගෙනා අමාත්‍යවරයා ඇතුළු මුළු ආණ්ඩුවම ඊට විරුද්ධව ඡන්දය දීමේ හාස්‍යජනක ජවනිකාව රටට දැකගැනීමට හැකි විය. එහි ප්‍රතිඵලයක් හැටියට පළාත් සභා ඡන්දය කාල නියමයක් නැතිව කල් ගියේය. ඒ අනුව දැන් අවුරුදු අටකින් පළාත් සභා ඡන්දයක් පවත්වා නැති අතර මේ කාලය ඇතුළත රටේ සිටි ජනාධිපතිවරුන්ගේ ගණන හතරකි. ආණ්ඩු ගණන තුනකි.
පළාත් සභා ඡන්ද පෙට්ටිය වසාදැමීමට මුලින්ම ඇණය ගැහුවේ එක්සත් ජාතික පක්ෂයයි. මේ වන විට ඉන් සුළු පිරිසක් එජාපය හැටියටම පෙනී සිටිද්දී බහුතරය සමගි ජන බලවේගය නමින් සිය අනන්‍යතාවය වෙනස් කරගෙන සිටී. ඊළඟ පෙට්ටියට ඇනය ගැසීමට පැමිණියේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා වී සිටි මෛත්‍රිපාල සිරිසේනගේ පසුපසින් ගිය ශ්‍රී ලනිපයයි. ඒ කාලයේ යහපාලන ආණ්ඩුව සමග එකගෙයි කමින් සිටි ජනතා විමුක්ති පෙරමුණ අවසාන ඇනය ගැහුවේය. ඒ නිසා පළාත් සභා ඡන්ද නැතිවී, පළාත් සභාවල මහජන නියෝජිතයන් නැතිවීම ගැන වගකීමෙන් ගැලවීමට රටේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයන් වැඩිදෙනෙකුට පුළුවන්කමක් නැත. සමගි ජන බලවේගය දැන් හිටිහැටියේ ඇහැරී පළාත් සභා ඡන්ද ඉල්ලා සිටියද ඔවුන් මේ අනුභව කරමින් සිටින්නේ තමන්ම රෝපණය කළ ගසක ගෙඩිය.
ශ්‍රී ලංකාව වැනි කුඩා රටකට බලය විමධ්‍යගත කිරීම සඳහා යටත්විජිත සමයේදී ඇති කරන ලදුව තවමත් පවත්වාගෙන යන පළාත්පාලන ආයතන හොඳටම සෑහේ. මෙහි ආරම්භයේදීම කියා සිටි පරිදි පළාත් සභා යනු අපගේ බලගතු අසල්වැසියා විසින් අප මත පටවන ලද නාස්තිකාර පරිපාලන ක්‍රමයකි. මෙය මහ මොළකරුවෙකු හැටියට අතිශයෝක්තියට නගා ඇති ජේ.ආර්. ජයවර්ධනගේ විදේශ ප්‍රතිපත්තිය නිසා රටක් හැටියට අපට මුහුණ පාන්නට සිදුවූ අවාසනාවකි. කලාපීය බලවතාගේ වැදගත්කම අවබෝධ කර ගැනීමට තරම් භූදේශපාලනය දැනීමකින් තොරවූ ජේ.ආර්. ආණ්ඩුව බටහිර රටවල් හිස්මුදුණින් පිළිගෙන කටයුතු කිරීම කෙළවර වූයේ විනාශයකිනි. කුඩා කැරලිකාර කණ්ඩායමක්ව තිබූ එල්.ටී.ටී.ඊ.ය දැවැන්ත ත්‍රස්තවාදී ව්‍යාපාරයක් දක්වා වර්ධනය කිරීමෙන් ඉන්දියාව ශ්‍රී ලංකා ආණ්ඩුව නිසිතැන තැබුවේය. 1987 වඩමාරච්චි සටනේදී ශ්‍රීලංකා හමුදාවන් යුද්ධයට තිත තැබීමට ඔන්න මෙන්න කියා තිබියදී ඉන්දියාව එය නතර කිරීමට මැදිහත් වූවා මතු නොව පළාත් සභා සුදු අලියා අපේ ගේ ඇතුළට රිංගවමින් ඉන්දු-ලංකා ගිවිසුම අපේ කරේ ගැසුවේය.
අද බලයේ සිටින ජාතික ජන බලවේගය (එදා ජනතා විමුක්ති පෙරමුණ හැටියට) ඉන්දු ලංකා ගිවිසුමට දැඩි ලෙස විරුද්ධ වූයේය. 1988 පැවති පළමුවැනි පළාත් සභා මැතිවරණයේදී මුලින්ම ඡන්දය දෙන්නට යන දසදෙනා මරා දමන බවට ඔවුන් තර්ජනය කර ඇති බව ඒ කාලයේ ප්‍රසිද්ධ කාරණයක් විය. පක්ෂ තහනම ඉවත්ව තිබූ 1993දී පවා ජවිපෙ පළාත් සභා ඡන්දවලට ඉදිරිපත් වූයේ නැත්තේ ඒ විරෝධය දිගටම තිබූ නිසාය. දැන් රාජ්‍ය බලය ලබාගෙන සිටීමට අතිරේකව ඉන්දියාව සමග හොඳ සම්බන්ධතාවක් පවත්වාගෙන යන මේ ආණ්ඩුව පළාත් සභා ක්‍රමය අහෝසි කිරීමට කටයුතු කරනු ඇද්ද නැත්නම් මේ නිෂ්ඵල වැඩපිළිවෙළ දිගටම පවත්වාගෙන යනු ඇද්දැයි රට බලාගෙන සිටී.