බලපං අර ඇහැටුවැව අම්මා නැති ළමයා...
06 September 2026
බලපං අර ඇහැටුවැව අම්මා නැති ළමයා...
06 September 2026
විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රේෂ්ඨාධිකරණය ජනමත විචාරණයක් පැවැත්වීමට නිර්දේශ කරයිද, නාමල් රාජපක්ෂ 12 වැනිදාට කලින් අත්අඩංගුවට ගනියිද, ප්‍රියංකර ජයරත්න හිටපු අමාත්‍යවරයා වසර හතක සිරදඬුවම් විඳීම, ආදී ජාතික මට්ටමේ කාරණා කතාබහට ලක්වෙමින් තිබියදී ගෙවුණ බදාදා ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ආවේය. ඉහත සියලු මාතෘකා පසෙකලා බදාදා නිකුත් වූ ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල ගැන දෙමාපියන් මුල්තැන්හිලා කතා කළේ ජනතාව වඩා සැලකිලිමත් වන්නේ කවර කාරණාවලට දැයි අපේ ඇහැට ඇඟිල්ලෙන් ඇන පෙන්වමිනි. ඒ නිසාම සෙස්ස පස්සට ලා මෙවර ශිෂ්‍යත්ව විභාගය ගැන ලිවීම බොහෝ දෙනකුට වැදගත්ය.
අපේ රටේ විභාග දෙපාර්තමේන්තුව පවත්වන විභාගයක් මහා ව්‍යාපාරයකට හේතු වූයේ නම් මුල්තැනට එන්නේ මේ ශිෂ්‍යත්ව විභාගයය.
ඒ ව්‍යාපාරයෙන් උපරිම ප්‍රතිඵල ලබන්නේ පහේ ශිෂ්‍යයත්ව ගුරුවරුය. එයට එක ගුරුවරියකගේ තරම පමණක් කීම සෑහේ.
සිසුන් දසදහස් ගණනකට ශිෂ්‍යත්ව විභාගයට උගන්වන එක ගුරුවරියක් ඈත පළාත්වල සම්මන්ත්‍රණවලට යන්නේ හෙලිකොප්ටරයෙනි. ඇයට සිය ගණනක් පරිවාර සේවක සේවිකාවෝය. ඇයගේ පරිවාරයේ පෞද්ගලික ආරක්ෂක සෙබළුන්ය. ඈ කුපිත වූ වේලාවක තරුණයකුගේ ලිංගේන්ද්‍රයට පා පහර දීමෙන් නඩුහබවලටද පටලැවුණාය. එහෙත් ඇය පහේ ශිෂ්‍යත්වයට දීපව්‍යාප්තව උගන්වා දරුවන් සමත් කරනා නිසා දසදහස් ගණනක් දරුවන්ගේ පෙම්බර අම්මාය.
ගුරුවරු හැරෙන්නට දිනපතා දරුවන් ශිෂ්‍යත්ව පන්ති ඇරලවීමෙන් ත්‍රීවීල් ඇතුළු කුලී රථ රියැදුරන්ද, ශිෂ්‍යත්ව පන්ති අසල කෑම්බීම් විකිණීමෙන්ද, පොත්, පරණ විභාග ප්‍රශ්න පත්‍ර අච්චු ගැසීමෙන්ද, විභාගය ළං ළං වෙන විට භාරහාර, සෙත්කවි කීම් ආදීයෙන්ද යැපෙන්නෝ බොහෝය.
කලෙක සිට මේ ශිෂ්‍යත්ව විභාගය දේශපාලන ලෝකයට බලපෑම් කරන්නක් බවටද පත්ව තිබේ. මුළු විභාගයේ ලකුණු සංඛ්‍යාවෙන් තුනෙන් දෙකක් ගත්තත් සමත් වෙන්නට බැරි ලෝකයේ තිබෙන දුෂ්කරම විභාගය පහේ ශිෂ්‍යත්වය බව කාලයක් තිස්සේ කියැවිණ. එයින් අදහස් වන්නේ ශිෂ්‍යත්වයේ ප්‍රශ්න පත්‍ර දෙකට වෙන් වෙන ලකුණු දෙසීයෙන් ලකුණු එකසිය පනහක් ගත්තත් විභාගය සමත් හැටියට නොසැලකෙන බවය. එසේ වන්නේ ජාතික පාසලකට ඇතුළු වීමට සමහර වාරවල 150 හෝ 170 ඉක්මවන නිසාය. මේ අස්වාභාවික ස්වරූපය නිසාම ලකුණු දෙසීයෙන් ප්‍රශ්න පත්‍ර දෙකට 35 ගණනේ හැත්තෑපහක් ගන්නා දරුවන් ශිෂ්‍යත්ව සමතුන් ලෙස සහතිකයක් දෙන්නට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කළේය. එහෙත් ශිෂ්‍යත්ව මනෝ ලෝකයේ රැජනන් වී සිටින අම්මලාට ඒ සහතිකය හූනු බිජ්ජක් තරමටවත් වටින්නේ නැත. ළමා වයසේම මෙරට දරුවන් ලක්ෂ ගණනකට තමන් අසමතුන් බව හඟවන මේ ශිෂ්‍යත්ව විභාගය අවලංගු කර ඒ වෙනුවට අටේ පන්තියේදී විභාගයක් පැවැත්වීමට ගෙවුණු ආණ්ඩු කාලවල තීන්දුවක් ගැණින. මේ මාලිමා ආණ්ඩුවද බලයට එන්නට පෙර කීවේ ශිෂ්‍යත්වය සඳහා එබඳු ඥානෝන්විත තීන්දුවක් ගන්නා බවය. එහෙත් කතෝලික සභාව, එ.ජා. සංවිධානය, මහානාහිමිවරු එපා කිව්වත් 22 වැනි සංශෝධනය නොබියව ගෙනෙන ආණ්ඩුව පහේ ශිෂ්‍යත්ව විභාගය නම් අහෝසි කරන ලකුණක් නැත. ඒ මෙයින් යැපෙන මහා පිරිසකගේද දෙමාපියන් ලක්ෂ ගණනකගේද ජාතික පාසල් සිහිනයත් බොඳ කරන්නන්ට වැඩ වරදින නිසාය.
කෙසේ වෙතත් මෙවර පහේ ශිෂ්‍යත්ව විභාගයට සිසුන් දෙලක්ෂ අසූදහසක් පෙනී සිටියේය. ඒ දෙලක්ෂ අසූදාහෙන් විභාගය අවසාන වී එළියට එන මහත දෙහෙත ඇති මව්පිය රැකවරණ ලැබී සැපපහසුව හැදෙන වැඩෙන දරුවන් පිරිසකට ජනමාධ්‍යයේ මයික්‍රෆෝනය යොමු කෙරිණ.
‘‘අපෝ මේ විභාගේ කිරිකජු වාගේ. පට්ට ලේසියි. අපි ගොඩ තමා’’ යැයි කියමින් එකාවන්ව ඔවුහු මොර දුන්හ. එසේ කියූ දරුවන්ගේ ප්‍රකාශ අනුව විභාගය මෙවර ලේසි යැයි කවුරුත් සිතූහ. කෙසේ වෙතත් ගෙවුණ බදාදා ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වූ අතර විභාග කොමසාරිස් ප්‍රකාශ කළේ කඩඉම් මට්ටම වූ ලකුණු 139 පසුකර ගොස් ඇත්තේ සිසුන් 50,000 ක් පමණක් බවය. ප්‍රතිශතයක් ලෙස එය සියයට දහනවයකි.
දැන් දරුවාගේ ශිෂ්‍යත්ව විභාගය ඒකායන අරමුණ කරගෙන දිවා රෑ නොබලා වැඩ කරවමින් දෙවියන්ට, බුදුන්ට කියමින් වසර දෙකක් දුක් වින්ද දෙලක්ෂයකට වැඩි දෙමාපියන් විපිලිසරය. එහෙත් ලංකාවෙන්ම පළමුවෙනියාට සමත් වූ ශිෂ්‍යයා දෙමාපියන්ට හිතන්න දෙයක් ඉතුරු කර තිබේ.
ලංකාවෙන්ම ශිෂ්‍යත්ව විභාගයෙන් පළමුවෙනියාට ආවේ ඇහැටුවැව ප්‍රාථමික විද්‍යාලයේ තීක්ෂණය. ශිෂ්‍යත්ව විභාගය අම්මලාගේ විභාගයක් වුවත් තීක්ෂණගේ ශිෂ්‍යත්ව විභාගය අම්මාගේ විභාගයක් නොවන බව එහි ගිය අපේ ලේඛිකාව සිකුරාදා පත්තරයට ලියා තිබිණ. කොහොමත් තීක්ෂණගේ ගම කවියන්, චිත්‍ර ශිල්පීන්ගේ සිතේ තියෙන ගමක් නොව හැබෑම ගමකි. අලි ගමට කඩාපනියි. කුඹුරු පාළුවෙයි. ගැමියන් ණය වෙයි. මව්වරු වහ බොති. ඇහැටුවැව ගමේ ගොවිතැනට අත්උදව් දෙමින් ජීවත් වූ තීක්ෂණගේ අම්මා ඔහු හැර ගොසිනි. ජීවිතයෙන් හැර ගියාද, නැතිනම් තීක්ෂණ හැර ගියාද සොයනවාට වඩා කතාවට වැදගත් වන්නේ මේ විභාගය තමන්ගේ විභාගයක් කරගෙන තීක්ෂණව යොමු කරන්නට අම්මා ළඟ නොවීමය. කිලෝ මීටර් හයක් ඈතින් තියෙන ඇහැටුවැව ප්‍රාථමිකයට වේලාව නොවරදවා යන්නට තීක්ෂණට බැරිය. පාරට අලි එන නිසා වෙලාව වරදවා ඉස්කෝලෙට එන්නට තීක්ෂණගේ තාත්තා ගුරුවරුන්ගෙන් අවසර අරන් දුන්නේය. අමාරුවෙන් අකුරට එන තීක්ෂණට පන්ති භාර ගුරුතුමිය බැති පෙම් ඉපදවූවාය. ගුරුතුමියගේ නිවුන් දරුවන්ද තීක්ෂණගේම වයසේ වූ නිසා අලි ගහන ගමට යන්නට ඉඩ නොදී සමහර රෑට තම ගෙදර නතර කර ගත්තාය.
‘‘රෑට දරුවාට ගෙදර ඉඳන් පාඩම් කරන්න ලැබුණේ නෑ. අම්මත් නැතිව දරුවා තනියම ගෙදර තියන්න බැරි නිසා පැල් රකින්න දරුවාව රෑට මම පැලට එක්කරගෙන යනවා.’’
තීක්ෂණගේ තාත්තා දරුවාට ඉගෙන ගන්න තිබුණ පරිසරය ගැන කියන්නේ එහෙමය. ටියුෂන් පන්තිවලට කාලය මරන්නට ඉඩක් නොතිබූ තීක්ෂණ ඉස්කෝලේ ඇරී ගෙදර ආ වේලාවේ ඉඳන් කුඹුරේ, හේනේ වැඩටත් සකලයන් එළවන්නටත් කාලය ගතකළේය. පාඩම් වැඩ කළේ ඒවා කරමිනි. මේ අලිගහන ගමේ ඉඳන් පාසල් එන දරුවන්ට ශිෂ්‍යත්ව හමාර වූ දා පාසල් ගේට්ටුව ළඟ ඉඳන් මයික්‍රෆෝනය අල්ලන්නට කවුරුවත් සිටියේ නැත. ‘‘ශිෂ්‍යත්ව විභාගය පට්ට ලේසියි දැන් අපිට ජොලි කාලේ’’ කියන්නට තීක්ෂණට කොහොමත් ඉඩක් තිබුණේ නැත. තීක්ෂණ කළේ ශිෂ්‍යත්වය ඉවර වුණු දා සිට කුඹුරේ වැඩට අත් උදව් දීමය.
ගෙවුණ බදාදා ශිෂ්‍යත්ව ප්‍රතිඵල එනතුරු තීක්ෂණ හිටියේ රෑට පැල් රකිමින්, දවල්ට අත් උදව් දෙමින් හේනේ පැලේය.
ගෙවුණ බදාදා පහේ ශිෂ්‍යත්වයෙන් ලංකාවෙන්ම පළමුවැනියා වෙලා පාස් යැයි පණිවුඩය එනකොට තීක්ෂණ හිටියේ කුඹුරේ මොනරු එළවමිනි.
දැන් මේ කතාව අහන විභාගය අසමත් ගොඩට වැටුණ ලක්ෂ දෙකකට වැඩි අර පුෂ්ටිමත් සහ හොඳින් රැකබලා ගත් දරුවන්ගේ අම්මලා මෙසේ කියනු ඇත.
‘‘උඹලට අපි කරනවා වැඩියි. බලපං අර ඇහැටුවැව අම්මා නැති ළමයා.’’
අපේ මව් පරපුර අධ්‍යාපනය ගැන හිතන්නේ එහෙමය.

