brand logo
logo
මානව හිමිකම් පැමිණිලි 8,000ක් ගොඩගැහිලා

මානව හිමිකම් පැමිණිලි 8,000ක් ගොඩගැහිලා

15 December 2024 | සුනිල් රූපසිංහ-පල්ලෙපොළ

කොවිඩ් සමයේ සිට ගොඩගැහුණු පැමිණිලි අටදහසක් තවමත් විභාග වෙමින් පවතින බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව සඳහන් කරයි.


මානව හිමිකම් කඩවීම් පිළිබඳ පැමිණිලි හැටකට ආසන්න ප්‍රමාණයක් දෛනිකව මානව හිමිකම් කොමිෂන් සභාව වෙත ලැබෙන බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා පැවැසීය. ශ්‍රී ලංකා පොලිසිය, අධ්‍යාපනය සහ සෞඛ්‍ය අංශවලට එරෙහිව ලැබෙන පැමිණිලි ඉහළ ගොස් තිබේ. පැමිණිලි හයසීයක් පමණ 2024 වසරේ මේ දක්වා ලැබී තිබෙන බවත්, පැමිණිලි විභාග කර අවසන් කර තීන්දු ලබාදීම කඩිනමින් සිදුවන බවත් කොමසාරිස්වරයා පැවැසීය.


විභාග කිරීම ප්‍රමාද වූ පැමිණිලි පිළිබඳ විමර්ශන කඩිනම් කර තිබෙන බව ද ඔහු පැවසීය. මූලික මිනිස් අයිතිවාසිකම් කඩකිරීම් පිළිබඳව ලැබෙන පැමිණිලි සිය කොමිසම විසින් විභාගයට ගන්නා බවත්, අපරාධ සම්බන්ධයෙන් දරුවන්ගෙන් ප්‍රශ්න කිරීම සහ රාත්‍රියේ දී රාත්‍රි ඇඳුමින් සිටින කාන්තාවන් පොලිසියට ගෙන ගොස් ප්‍රශ්න කිරීම නීතිවිරෝධී බවත් කොමසාරිස්වරයා පැවැසීය.


ස්පාවලට කඩා වැදී කාන්තාවන් පොලිසියට රැගෙන යාමට නීතියෙන් අවසර නැති බව සඳහන් කළ කොමසාරිස්වරයා, ආයුර්වේද දෙපාර්තමේන්තුවට ස්පා වැටලීමේ අවසර සහ නීතිය හමුවට අදාළ පාර්ශ්වයන් කැඳවීමේ අවසර ඇති බවද සඳහන් කළේය. පොලිසිය සන්නද්ධ කල්ලියක් නොවන බව සිහි තබාගත යුතු බවත්, වෘත්තියක් වශයෙන් ජනතාවට සේවා සපයන ආයතනයක් බව නිරන්තරයෙන්ම සිහියේ තබා ගත යුතු බවත් ඔහු කීය.


එසේම ගණිකා වෘත්තිය අපරාධයක් නොවන බවත්, එම වෘත්තියේ යෙදෙන කතුන්ට දඬුවම් කළ නොහැකි බවත්, ගණිකා නිවාස පවත්වාගෙන යන කළමනාකාරීත්වයට එරෙහිව නීතිමය පියවර ගැනීමේ හැකියාව පවතින බවත් හෙතෙම කීවේය. ජාත්‍යන්තර මානව හිමිකම් දිනය සමරමින් මාතලේ දිස්ත්‍රික් මහ ලේකම් කාර්යාලයේ වීර මොනරවිල කැප්පෙටිපොළ ශාලාවේ දී පැවැත් වූ සැමරුම් උත්සවයේ දී කොමසාරිස්වරයා මේ බව පැවසීය.

 

More News..