ෆේස්බුක් එකේ උඩ පහළ යද්දි තමා මුලින්ම කස්තුරිව දැක්කේ
19 November 2026 | ලක්ෂාන් ජයසූරිය
ෆේස්බුක් එකේ උඩ පහළ යද්දි තමා මුලින්ම කස්තුරිව දැක්කේ
19 November 2026 | ලක්ෂාන් ජයසූරිය
සංගීත් ප්‍රභූ සහ කස්තුරි ජයවර්ධන කියන්නේ පුංචි තිරයේදී හමුවෙලා කාලයක් ප්‍රේමවන්තයෝ විදිහට ඉන්න යුවළක්. පසුගිය දවසක සංගීත්ගේ සහ කස්තුරිගේ ජීවිතේට මංගල කිංකිණි උදාවුණා. පසුගිය කාලයේ දිගින්දිගටම කේෂ්ත්‍රයේ අය විවාහ දිවියට පත්වීමේ කතාවේ සංගීත් හා කස්තුරි විශේෂ ස්ථානයක් හිමිවෙනවා. මේ නිසාම විවාහය ගැන කතා කරන්න අපි සංගීත් ප්‍රභූට ආරාධනාවක් කළා.
සංගීත්ට මුලින්ම කස්තුරිව හම්බවුනේ කොහොමද?
මම ෆේස්බුක් එකේ උඩ පල්ලෙහා යද්දි පොටෝ එකකිනුයි මුලින්ම කස්තුරිව දැක්කෙ. ඒ දවස්වල රවින්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරන මමත් රඟපාන ටෙලිනාට්‍යයකට අලුතෙන් ගෑනු ළමයෙක්ව හොයන ගමන් හිටියෙ. ඉතින් කස්තුරිට හුරුබුහුටි පෙනුමක් තිබුන නිසා මම ෆේස්බුක් මාර්ගයෙන් එයාට මැසේජ් කළා ටෙලිනාට්‍යයක රඟපාන්න කැමැතිද කියලා. කැමැති නම් නම්බරේ එවන්න කියලා කිව්වා. මුලින්ම කස්තුරි මාව වැඩිය ගණන් ගත්තෙ නැහැ. පෝන් නොම්බරය එවන්න කිව්වහම වැඩ කරන්නෙ නැති නොම්බරයක් මට එව්වෙ. බොරුවට නෙමෙයි කතා කරන්නෙ ඇත්තටම ටෙලිනාට්‍යයක රඟපාන්න කියලා පැහැදිලි කළහම තමයි කස්තුරි ටෙලිනාට්‍යයේ ස්ක්‍රීන් ටෙස්ට් එකට ඇවිත් මම එක්ක රඟපාන්න සම්බන්ධවුනේ. ඒ විදිහට තමයි මට මුලින්ම කස්තුරිව මුණගැහුනෙ. දෛවයේ ලියැවිලා තියෙන්න ඇති අපි මේ ආකාරයෙන් මුණගැහෙන්න ඕනේ කියලා.
කස්තුරිට ආදරය කරන්න හිතුනෙ ඇයි?
කස්තුරිව පොටෝ එකෙන් මුලින්ම දකිද්දිත් මට එයා ගැන පුංචි ආකර්ෂණයක් තිබුණා. ඒ ආකර්ෂණය ආදරයක් බවට පත්වුණේ අපේ අදහස් ගැළපුණ නිසයි. කස්තුරි ටෙලි නාට්‍යයට සම්බන්ධවෙලා වැඩකරගෙන යද්දි අපි එකට කෑම ගත්තා. ඒ වෙලාවෙදි මට දැනගන්න ලැබුණා කස්තුරි වෙජිටේරියන් කියලා. මමත් වෙජිටේරියන්. ඒ තමා මුල්ම ගැළපීම. එතැනින් පස්සේ අපි අතරේ තියෙන බොහෝ දේවල් ගැළපුණා. ඔය විදිහට තමා අපේ ආදර කතාව පටන් ගන්නේ.
කස්තුරිගේ කැමැතිම දේ මොකක්ද?
උත්සාහවන්තකම සහ පිළිවෙළ තමයි කස්තුරිගේ මම කැමැතිම දේ. මම බොහොම පුංචි තැන ඉඳලා දියුණුවෙන්න උත්සාහ කරපු කෙනෙක්. කස්තුරි ඒ දේ තේරුම් අරන් මගේ ගමනට හයියක් වුණා. මගේ ජීවිතය පිළිවෙළක් කරන්න මාත් එක්ක එකතු වුන කෙනා විදිහට කස්තුරිව හඳුන්වන්න පුළුවන්. ඒ වගේම අපි දෙන්නට කතාබහ කරලා ඕනෑම දෙයක් කරන්න පුළුවන්. ඒ නිසා අපි කැමැති දේවල් තමා හැම වෙලේම කරන්නේ.
සංගීත්ගෙයි කස්තුරිගෙයි ආදරයට කොච්චර කාලයක් වෙනවද?
අපේ ආදරයට දැන් අවුරුදු 7 ක් වෙනවා. රවින්ද්‍ර විජේරත්න අධ්‍යක්ෂණය කරපු හුස්මක් තරමට ටෙලිනාට්‍යයේ රඟපානකොටයි අපේ ආදර කතාව පටන් ගත්තෙ. අපි දෙන්නගෙ අතිජාත මිත්‍රයො දෙන්නෙක් වන ගයාන් ගුණවර්ධන සහ පූජනී භාග්‍යා මුලින්ම හම්බවෙලා ආදරය කරන්න පටන් ගත්තෙත් මේ ටෙලි නාට්‍යයේ රඟපානකොට. හැබැයි අපිට කලින් ගයානුයි පූජනියි විවාහ වුණා. ඒ ටෙලි නාට්‍යය හුඟාක් වාසනාවන්ත ටෙලි නාට්‍යයක් කියලා හිතෙනවා.
ආදරයට ප්‍රශ්න ආවෙ නැද්ද?
මේ ලෝකෙ ප්‍රශ්න නැති ආදර සම්බන්ධතාවයක් නැහැ කියලයි මම හිතන්නෙ. ඉතින් අපේ ආදර සම්බන්ධතාවයටත් ප්‍රශ්න ආපු වෙලාවල් තිබුණා. සමහරවෙලාවට අපි දෙන්නා අතර මතවාද ඇතිවෙලා රණ්ඩු වුණ වෙලාවලුත් තිබුණා. හැබැයි ඒ ඔක්කොම අවසානයේ ආදරය කියන දේ තමයි තිබුණෙ.ඒ නිසා තමයි මේ ආකාරයට අද අපි අපේම වෙන්නෙ.
දෙන්නගේ ආදරයට පවුල්වලින් ලැබුන ප්‍රතිචාරය මොකක්ද?
කස්තුරිගෙත් මගෙත් පවුලෙ අය සාමාන්‍ය පවුල් පසුබිමකින් පැවත එන මිනිස්සු. ඉතින් උත්සාහයෙන් දියුණුවෙන්න හදන කොල්ලෙක් විදිහට මාව කස්තුරිගේ පවුලෙ අය බෑණා කරගන්න කැමැති වුණා. අපේ පවුලෙ දුවලා නැහැ. ඉතින් අපේ අම්මත් කස්තුරිව ලේලි විදිහට නෙමෙයි දුව විදිහට භාර අරන් තියෙන්නෙ. අපි දෙන්නා ආදර සම්බන්ධතාවය පටන් ගත්තට පස්සෙ අම්මට කස්තුරිව ළඟින් ආශ්‍රය කරන්න ලැබුණා. අම්මගේ පුතා මම වුණත් අද වෙද්දි අපේ අම්මා මටත් වඩා කස්තුරිට ගොඩක් ආදරෙයි.
කස්තුරිව විවාහ කරගන්න යෝජනාව සංගීත් පිළිගන්වපු විදිහ ගැන සමාජ මාධ්‍යවල තවමත් කතාබහට ලක්වෙනවා....
අපි දෙන්නා විවාහවීමේ බලාපොරොත්තුවෙන් ආදරය කළාට කවද්ද විවාහ වෙන්නෙ කියලා මම හරියටම කස්තුරිට කියලා තිබුණෙ නැහැ. ඉතින් කස්තුරිව පුදුම කරන්න හිතාගෙන මම ඔක්තෝබර් 02 වැනිදා කස්තුරිට මල් කළඹක් දීලා මුද්දක් පලන්දලා විවාහ වෙන්න යෝජනා කළා. ඒක කස්තුරිට වගේම මගේ ජීවිතයේත් අමතක නොවන සුන්දර දෙයක්.
විවාහය කොහොමද සැලසුම් කෙරුවෙ?
අපි මේ ගත්තෙ අපේ විවාහ ගිවිසගැනීම විතරයි. ඉදිරියෙදි ප්‍රසිද්ධ විවාහ උත්සවයක් ගන්න අපි සූදානමින් ඉන්නවා. කාටත් ණය නොවී අපිට තියන විදිහට සරල උත්සවයකින් සුදු වර්ණය තේමා කරගෙන අපේ විවාහ ගිවිසගැනීම සිද්ධ කළා. ඒ වෙනුවෙන් උදව් කරපු හැමෝටම අපි ස්තූතිවන්ත වෙනවා.
සැමියයි බිරිඳයි විදිහට අනාගතේ ගැන අදහස මොකක්ද?
අපි දෙන්නා දැන් පවුලක්. අපි වෘත්තියෙන් රංගන ශිල්පියො සහ ව්‍යාපාරිකයො. රංගනයෙන් ඉදිරියට ගිහින් ව්‍යාපාර කටයුතුත් සාර්ථක කරගෙන සතුටින් ජීවත් වෙන එක තමයි අපේ බලාපොරොත්තුව.


