brand logo
logo
උඩප්පුව වෙරළ ඛාදනය වැළැක්වීමට රුපියල් මිලියන 41කට අධික මුදලක්

උඩප්පුව වෙරළ ඛාදනය වැළැක්වීමට රුපියල් මිලියන 41කට අධික මුදලක්

19 October 2026 | මිහිසර රශ්වින්ද - මාරවිල


මුන්දලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ උඩප්පුව වෙරළ තීරය වසර ගණනාවක් තිස්සේ මුහුණ දුන් දැඩි වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා රුපියල් මිලියන 41කට අධික මුදලක් වැය කර ආරක්ෂිත ගල්වැටි ඉදිකිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති අතර දිගු කලක් තිස්සේ උඩප්පුව ධීවර ජනතාව ඉදිරිපත් කළ ඉල්ලීමක් වන ධීවර තොටුපොළක් ඉදිකිරීමට ද සැලසුම් සකස් කර තිබේ.


උඩප්පුව වෙරළ තීරය වසර ගණනාවක් තිස්සේ දැඩි මුහුදු ඛාදනයට ලක්වීම හේතුවෙන් වෙරළ ආසන්නයේ පිහිටි නිවාස රැසක් විනාශ වී ඇති අතර, ධීවර කටයුතු සඳහා භාවිත කළ ස්ථාන ද මුහුදට බිලි වී තිබේ.


මෙම තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ධීවර ජනතාවගේ දෛනික ජීවනෝපාය පවත්වාගෙන යෑමට ද දැඩි බාධා එල්ල වී ඇත.


උඩප්පුව ගම්මානයේ ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ධීවර කර්මාන්තයයි. 


එක්දින ධීවර කර්මාන්තයේ මෙන්ම මාදැල් කර්මාන්තයේ ද නිරත වන ධීවරයන් විශාල පිරිසක් මෙම ප්‍රදේශයේ ජීවත් වෙති. 


අයහපත් කාලගුණික තත්ත්වයන් සහ කාලගුණ විපර්යාස හේතුවෙන් මුහුද රළු වන අවස්ථාවලදී වෙරළ තීරය දැඩි ඛාදනයට ලක්වීමෙන් ධීවර කටයුතු පවත්වාගෙන යෑමට නොහැකි තත්ත්වයක් ද උද්ගත වී තිබිණි.


වෙරළ ඛාදනය වැළැක්වීම සඳහා මීට පෙර වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඇතැම් ස්ථානවල ගල්වැටි ඉදිකර තිබුණ ද, රළු මුහුදු තත්ත්වයන් හේතුවෙන් ඒවාට ද හානි සිදුවීම නිසා ඛාදනය අඛණ්ඩව සිදුවිය.


මේ හේතුවෙන් වෙරළ ආසන්නයේ මාර්ග කිහිපයකට ද හානි සිදුව තිබූ අතර, එම මාර්ග ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු සිදුවෙමින් පවතී.


මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් කළ ඉල්ලීමකට අනුව අදාළ අමාත්‍යාංශය සහ වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව මැදිහත්ව රුපියල් මිලියන 41කට අධික මුදලක් වෙන්කර වෙරළ ආරක්ෂණ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කර ඇත.


ඒ අනුව, වෙරළ ඛාදනය අවම කර ජනතාවගේ නිවාස, මාර්ග සහ ධීවර කටයුතු ආරක්ෂා කරගැනීම සඳහා ගල්වැටි ඉදිකිරීම සිදුකර තිබේ.


මේ අතර, ධීවර තොටුපොළක් නොමැතිවීම හේතුවෙන් දිගු කලක් තිස්සේ පීඩාවට පත්ව සිටින උඩප්පුව ධීවර ජනතාවගේ ගැටලුවට විසඳුමක් ලබාදීම සඳහා ද අවධානය යොමු කර තිබේ.


ඒ අනුව, නව ධීවර තොටුපොළක් ඉදිකිරීම සඳහා අවශ්‍ය සැලසුම් සකස් කර අවසන් කර ඇති අතර, ඉදිරි දින කිහිපය තුළ එහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට පියවර ගන්නා බව සඳහන් වේ.


වෙරළ ඛාදනය වැළැක්වීමේ වැඩපිළිවෙළ සහ නව ධීවර තොටුපොළ ඉදිකිරීම තුළින් උඩප්පුව ධීවර ජනතාවගේ ජීවනෝපාය සුරක්ෂිත කිරීමටත්, ප්‍රදේශයේ වෙරළබඩ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමටත් හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.

 

More News..