Best News Website award
brand logo
logo
මේ අයවැයේ මහජනතාවට ඍජුවම විශාල සහන සපයන යෝජනා නැහැ

මේ අයවැයේ මහජනතාවට ඍජුවම විශාල සහන සපයන යෝජනා නැහැ

13 November 2026 | සාකච්ඡාව - නිරෝෂා වාසල


2027 වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීම, එනම් අයවැය කතාව, මුදල්, ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක පසුගියදා පස්වරුවේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. මෙය ජාතික ජන බලවේග ආණ්ඩුවේ තුන්වැනි අයවැයයි. මෙම අයවැය සකස් වී ඇත්තේ “ආර්ථික ස්ථාවරත්වයේ සිට ආර්ථික පරිවර්තනයක් කරා ගමන් කිරීම” යන තේමාව ඔස්සේ බව කියැවෙයි. එම අයවැය සම්බන්ධයෙන් කැලණිය විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අධ්‍යයන අංශයේ මහාචාර්ය නවරත්න බණ්ඩා සමග “අරුණ” කළ සාකච්ඡාවයි මේ.


ජාතික ජන බලවේග ආණ්ඩුවේ තුන්වැනි අයවැය ගැන ඔබේ අදහස මොකක්ද?


ඇත්තටම අයවැයක් කියන්නේ සුන්දර ලියැවිල්ලක්. ඒ නිසා යෝජනා දෙස බැලීමෙන් පමණක් අයවැය හොඳයි කියලා හෝ වැඩක් නැහැ කියලා කියන්න බෑ. මොකද අයවැයේ සැබෑ ප්‍රතිඵලය ලැබෙන්නේ ඊළඟ අවුරුද්ද තුළයි. ඒ නිසා 2027 අයවැය හොඳද නැද්ද කියලා හරියටම කියන්න පුළුවන් වෙන්නේ, ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කළාද නැද්ද කියලා පසු විපරමක් කළාට පසුවයි. ඒ පසු විපරම කරන්නත් යෝජනා ක්‍රියාත්මක වන තුරුම ඉන්න වෙනවා.


සමස්තයක් හැටියට 2027 අයවැයෙන් ඉදිරිපත් වූ යෝජනා ජනහිතකාමීයි කියලා ඔබට හිතෙනවද?


පසුගියදා ඉදිරිපත් වූ අයවැය යෝජනාවල සඳහන් වී තිබුණු කරුණු දෙස බැලුවාම යම් දුරකට ජනහිතකාමී යෝජනා තිබුණා කියලා කියන්න පුළුවන්. නමුත් මහජනතාවට ඍජුවම විශාල සහනයක් සපයන යෝජනා ගැන නම් කොතැනකවත් සඳහන් වෙලා නැහැ. ජනතාව මත අද විශාල බදු බරක් පැටවිලා තියෙනවා. ඒ නිසා බදු සහනදීම සහ බදු අඩු කිරීම කෙරෙහියි අවධානය යොමු කළ යුතුව තියෙන්නේ.


මාසික ආදායම් බදු නිදහස් සීමාව රුපියල් 150,000 සිට රුපියල් 162,500 දක්වා ඉහළ දාලා තියෙනවා. ඒ අනුව වාර්ෂික බදු නිදහස් ආදායම් සීමාව රුපියල් මිලියන 1.8 සිට රුපියල් මිලියන 1.95 දක්වා වැඩි වෙනවා. ඒත් බදු නිදහස් සීමාව රුපියල් 12,500කින් ඉහළ දැමීම විශාල සහනයක් කියලා කියන්න බෑ. කොහොම වුණත්, පොත්පත් සඳහා පනවා තිබූ එකතු කළ අගය මත බද්ද (VAT) සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමට රජය ගත් තීරණය අගය කළ යුතුයි.


ඒ වගේම කෘෂිකර්මාන්තයට සහ කර්මාන්තවලට ලබාදෙන පහසුකම් වර්ධනය කිරීමටත් වැඩි අවධානයක් යොමු වුණා නම් හොඳයි. විශේෂයෙන් වී ගොවිතැන, එළවළු වගාව, පලතුරු වගාව වැනි ක්ෂේත්‍ර අපේ රටට ඉතාම වැදගත්. රට කෘෂිකාර්මික වශයෙන් සංවර්ධනය වුණොත් ආහාර ආනයනයට විදේශවලට යන මුදල් අපිට ඉතුරු කරගන්න පුළුවන්. කොහොම වුණත් අයවැය කතාව තුළ සෑහීමකට පත්විය හැකි සුබවාදී කාරණා ගණනාවක් අන්තර්ගත වී තිබුණු බවත් කිව යුතුයි.


ඔබ කියන සුබවාදී කාරණා මොනවාද?


යටිතල පහසුකම් සංවර්ධනය යටතේ ග්‍රාමීය ප්‍රදේශවල පාලම් සංවර්ධනයට සහ ප්‍රතිසංස්කරණයට, මහානගර බහුවිධ ප්‍රවාහන ව්‍යාපෘතිවලට සහ මාර්ග මත පාලම් ඉදිකිරීමට විශාල මුදලක් වෙන් කරලා තියෙනවා. මාර්ග සහ දුම්රිය යටිතල පහසුකම් නවීකරණය කෙරෙහි අවධානය යොමුවීමත් වැදගත්. මොකද අපේ රටේ දුම්රිය මාර්ග අවුරුදු 100ක් විතර පැරණියි. ඒවා ප්‍රතිසංස්කරණය නොකළොත් ශීඝ්‍රගාමී ප්‍රවාහනයක් සපයන්න බැරි වෙනවා. එය ආර්ථික සංවර්ධනයටත් බලපානවා. කුරුණෑගල සිට දඹුල්ල දක්වා මාර්ගයටත්, රත්නපුර අධිවේගී මාර්ගයටත් මුදල් වෙන් කරලා, ඒවා දෙසැම්බරයේ ආරම්භ කරන්න යෝජනා කරලා තියෙනවා.


ඒ වගේම ඩිජිටල් ආර්ථිකය වර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීමත් අගය කළ යුතුයි. ඒ සඳහා ව්‍යාපාර ආරම්භයට සහ නව ව්‍යාපෘතිවලට අවශ්‍ය මුදල් සැපයීමට බිලියන 10ක් වෙන්කර තිබෙනවා. 2027දී රටේ ඩිජිටල් පරිවර්තනයක් බලාපොරොත්තු වෙනවා කියලා ජනාධිපතිවරයා කිව්වා. GovPay ප්‍රවර්ධනය කරලා QR කේත මගින් ගෙවීම් කරන මුදල් රහිත ආර්ථිකයකට ගමන් කිරීම ඉතාම වටිනවා. ග්‍රාමීය ප්‍රදේශවල සංඥා ගැටලු විසඳීමට කුලුනු ඉදිකරලා 2030 වන විට බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් පුළුල් කිරීමත්, දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමත් සාධනීයයි. තෝරාගත් පාසල් සිසුන්ට බ්‍රෝඩ්බෑන්ඩ් පහසුකම් දීමෙන් ව්‍යවසායකයන් බිහි කිරීමට පෙලඹවීමක් ලැබෙනවා කියලා මම විශ්වාස කරනවා.


එපමණකුත් නොවෙයි,


කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත ඩිජිටල්කරණයට පහසුකම් සැපයීමත්, සමෘද්ධි බැංකුව හරහා සියයට 3ක් හෝ 4ක් වැනි අඩු පොලියට ණය ලබාදීමත් හොඳයි. රටේ සේවා නියුක්තියෙන් සියයට 40ක්ම ඉන්නේ මේ කර්මාන්තවල නිසා, ඔවුන්ට පහසුකම් සැපයුවොත් ග්‍රාමීය සහ අර්ධ නාගරික ප්‍රදේශවල රැකියා වැඩිකරන්න පුළුවන්. ඉතුරු පොලිය භාණ්ඩාගාරයෙන් ගෙවන විදිහට තමයි මේ සැලසුම සකස් කරලා තියෙන්නේ. ඒ ගැන සතුටුවෙන්න පුළුවන්.


බලශක්ති ක්ෂේත්‍රය ගැන කතා කළොත්, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදනයට අවධානය යොමු කරලා තියෙනවා. ඉන්ධන ආනයනයේදී කාලය ඉතිරි කරගන්න මුතුරාජවෙල හරහා පයිප්ප මාර්ගයකින් ඉන්ධන පොම්ප කරන්න සැලසුම් කිරීමත්, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි විදේශ ආයෝජකයන් සමග සංවර්ධනය කිරීමත් හොඳයි.


ඒ වගේම සංචාරක කර්මාන්තයට ගෘහ නවාතැන් (හෝම් ස්ටේ) සඳහා පහසුකම් සැපයීම, ධීවර කර්මාන්තය, ගුවන් තොටුපොළවල් සංවර්ධනය, විදේශ ආයෝජන ආකර්ෂණයට කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව සංශෝධනය කිරීම සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහන අධීක්ෂණයට කොමිෂමක් පත්කිරීමත් සුබවාදීයි.


මේ සියල්ලම හොඳ යෝජනා කියලා කියන්න පුළුවන්. නමුත් මොනතරම් හොඳ යෝජනා වුණත් ඒවා ඇත්තටම ක්‍රියාත්මක නොවුණොත් ප්‍රයෝජනයක් නැහැ. ඒ නිසා වෙනකර තිබෙන මුදල් හරි හැටි පාවිච්චි කරලා ඒ යෝජනා ඒ අයුරින්ම හෝ ඊටත් වඩා හොඳට ක්‍රියාත්මක කිරීමයි කළ යුතුව තියෙන්නේ.


2027 අයවැය තුළින් මෙරට ආර්ථිකය වර්ධනය කළ හැකි ආකාරයේ මහා පරිමාණ ව්‍යාපෘති කෙරෙහි අවධානය යොමු කරලා නැහැ, මින් පෙර පැවැති යෝජනාමයි තියෙන්නේ කියන කතාව ගැන ඔබේ අදහස මොකක්ද?


ඇත්තටම මහා පරිමාණ ආර්ථික වර්ධන ව්‍යාපෘති ගැන අයවැයේ සඳහන් වෙලා නැහැ. ඒ නිසා කලින් අයවැයවල යෝජනාමයි මේකෙත් තියෙන්නේ කියලා සමහරු කියන කතාවල ඇත්තක් නැහැම කියලා කියන්නත් බැහැ. කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත ඩිජිටල්කරණය කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම, මාර්ගගත ගනුදෙනුවලට ප්‍රමුඛත්වය දීම, අඩු පොලියට ණයදීම වැනි කරුණු කිහිපයක් අන්තර්ගත වෙලා තියෙනවා. ඒවා හොඳයි. නමුත් අපේ රටේ විදේශ විනිමය හිඟයක් තියෙන බව අමතක කළ යුතු නැහැ. ඒ නිසා අපි විශේෂයෙන්ම අවධානය යොමු කළ යුත්තේ අපනයන කර්මාන්ත සංවර්ධනය කෙරෙහියි. ඒ සඳහා කුඩා සහ මධ්‍යම පරිමාණ කර්මාන්ත සංවර්ධනයට අවධානය යොමු කිරීම අගය කළ යුතුයි. නමුත් මහා පරිමාණ කර්මාන්ත සංවර්ධනය ගැනත් මීටත් වඩා අවධානය යොමු කළා නම් වටිනවා කියන එකයි මගේ අදහස.


සංචාරක කර්මාන්තය සම්බන්ධයෙන් වුණත් ගෘහ නවාතැන් සහ ගුවන් තොටුපොළ සංවර්ධනය හැර වෙනත් යමක් නැහැ. හෝටල් කර්මාන්තයේ තියෙන අඩුපාඩුවලට මොන වගේ පිළියම්ද යොදන්නේ, සංචාරක ප්‍රවර්ධනයට කුමන වැඩපිළිවෙළක්ද තියෙන්නේ කියන කාරණා ගැනත් වැඩි සඳහනක් නැහැ. ඉන්දියාව ඇතුළු රටවල් සමග ද්විපාර්ශ්වික ගිවිසුම් අත්සන් කිරීම ගැන යෝජනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. අපි කුඩා රටක් නිසා අපට වාසිදායක ගිවිසුම් කෙරෙහි අවධානය යොමු කරනවා නම් පමණයි ඒ යෝජනාව වටින්නේ. ඒ නිසා ඉදිරිපත් වෙලා තියෙන යෝජනා හොඳ වුණත්, ආයෝජන ආකර්ෂණය කරගන්න, කර්මාන්ත දියුණු කරන්න, කෘෂිකර්මාන්තය සංවර්ධනය කරන්න කුමක් කරනවාද කියන එක පැහැදිලිව විස්තර වුණා නම් වැදගත් කියලා මම හිතනවා.


අපේ රටේ ආර්ථිකය වර්ධනය කිරීමේදී සමහර නීති සංශෝධනය කිරීමේ සහ අලුත් පනත් ගෙන ඒමේ අවශ්‍යතාවක් තියෙනවා කියලා ජනාධිපතිවරයා කිව්වා නේද?


බලාපොරොත්තු වෙන ආකාරයේ සියයට 8ක ආර්ථික වර්ධනයක් කරා ළඟාවෙන්න නම් විදේශ ආයෝජන ගැන සැලකිලිමත් විය යුතුයි. තුන්වන ලෝකයේ රටක් නිසා අපට ප්‍රාග්ධනය හිඟයි. ඒ ප්‍රාග්ධනය ගන්න නම් අනිවාර්යයෙන්ම විදේශ ආයෝජන ආකර්ෂණය කරගත යුතුව


තිබෙනවා. එහෙම නැතිව රටේ ආර්ථික සංවර්ධනය බලාපොරොත්තු වෙන්න අමාරුයි. විදේශ ආයෝජන ආකර්ෂණය කරගැනීමේදී ප්‍රශ්න තියෙනවා. විදේශිකයෙක් ආයෝජනයක් කරන්න අනුමැතිය ගැනීමේදී ස්ථාන ගණනාවකට යන්න වෙනවා. එවැනි අවස්ථාවලදී ඔවුන් අපේ රටේ ආයෝජනය කරනවට වඩා වෙනත් රටවලට යන්න හිතනවා. ඇත්තටම මෙතැනදී නීති සංශෝධන අවශ්‍යයි. ආයෝජකයකුට අනුමැතියක් ගන්න ස්ථාන 10ක් 15ක් වගේ ගණනකට යන්න වෙනවා නම් ඔහු ඒකට කැමැති වෙන්නේ නැහැනේ. ඒ වෙනුවට සියලුම කටයුතු එකම තැනකින් කරගන්න පුළුවන් ක්‍රමවේදයක් ඊට අදාළ නීති සකස් කළොත් ආයෝජකයන් ආකර්ෂණය කරගන්න පුළුවන්.


සංචාරකයන්ටත් මේ කරුණ එහෙමයි. ඔවුන්ට පහසුවන ක්‍රමවේද නැත්නම් ඔවුන් අපේ රටට එන්නේ නැහැ. රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ගැනත් ප්‍රශ්න තියෙනවා. දේශීය කෙනෙක් වුණත් සමහර කටයුතු සඳහා විශාල වශයෙන් රස්තියාදු වෙනවා. මේ සියල්ල පහසුකර ගැනීම සඳහායි නීති අවශ්‍ය වෙන්නේ.


2027 වර්ෂය සඳහාවන අයවැයේදී ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් බිලියන 2,000ක් වැය කිරීමට යෝජනා කර තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස මොකක්ද?


ප්‍රාග්ධන වියදම් කියලා අපි කියන්නේ යටිතල පහසුකම් සංවර්ධනය වැනි ආයෝජනවලට යොදවන මුදල්වලටයි. මේ අයවැයේ ඒ ප්‍රාග්ධන වියදම් සියයට 5ක් පමණ වැඩිකරන්න යෝජනා කරලා තියෙන බවයි මම දැක්කේ. යටිතල පහසුකම් දියුණු කිරීමට විශාල මුදලක් යොදවන එක හොඳ දෙයක්. ග්‍රාමීය පාලම්, මහානගර බහුවිධ ප්‍රවාහන ව්‍යාපෘති, අධිවේගී මාර්ග, දුම්රිය මාර්ග, ග්‍රාමීය ප්‍රදේශවල අන්තර්ජාල කුලුනු වගේ දේවල් ප්‍රාග්ධන වියදමෙන් ඉටුවෙන්න ඕනේ. මේවා දියුණු නොකළොත් ආර්ථික සංවර්ධනයටත් බාධා වෙනවා. ඒ නිසා මේ පැත්ත අයවැයේ සුබවාදී කාරණයක්. ඒත් මේ මුදල් ඇත්තටම ඒ අයුරින්ම වියදම් වෙනවාද කියලා බලන්න වෙනවා.


ඒ මුදල් කොතරම් ප්‍රමාණයක් නියමිත ව්‍යාපෘති සඳහා යොදවනවාද, ව්‍යාපෘති නියමිත කාලයට අවසන් වෙනවාද කියලා පසුවිපරම් කිරීම තමයි අපේ කාර්යභාරය.


2027 වර්ෂයේ ප්‍රාථමික වියදම තාවකාලිකව ඉහළ යාමක් අපේක්ෂා කරන බවකුත් කියැවුණා නේද?


ප්‍රාථමික වියදම් වැඩිවෙනවා කියලා කියනවාට වඩා, ඒවා අඩුකරගන්න සැලසුම් හදන එකයි කළ යුත්තේ. ඒ වියදම තාවකාලිකව හෝ ඉහළ යනවා නම්, ඒ සඳහා හේතු තියෙනවනේ. ඒ හේතු හොයලා බලලා ඒවාට පිළියම් යොදන එකයි කළ යුත්තේ. වියදම කොහොමද අඩු කරගන්නේ කියන කාරණාවටයි වැඩිපුරම අවධානය යොමු කළ යුතුයි.


ප්‍රාථමික වියදම් අඩුකර ගැනීමේදී මුලින්ම අනවශ්‍ය වියදම් කපා හැරිය යුතුයි. අමාත්‍යවරයකුට වාහන දෙක තුනක් පාවිච්චි කරන්න ඉඩදෙන්න බැහැ. අනවශ්‍ය උත්සව ඕනෑ තරම් තියෙනවා; ඒවාත් පාලනය කරගන්න පුළුවන්. රාජ්‍ය ආයතනවල විදුලිය සහ ජලය විශාල වශයෙන් නාස්ති වෙනවා. පුද්ගලයෙක් නැතත් විදුලි පංකා වැඩ කරනවා, වායු සමීකරණ යන්ත්‍ර ක්‍රියාත්මක වෙනවා. ඉන්දියාව වැනි රටවල උත්සවයක් පටන්ගන්න විනාඩි කිහිපයකට කලින් තමයි වායු සමීකරණ ක්‍රියාත්මක කරන්නේ. මට ඒ ගැන බොහෝ අත්දැකීම් තියෙනවා. තේ බොන්න හෝ කන්න යනකොට විදුලි බල්බ දෙක තුනක් තියලා අනෙක් සියල්ලම ක්‍රියා විරහිත කරනවා. ගෙදරක් වගේම රජයත් පාවිච්චි කරන්නේ මහජනතාවගේම සල්ලි නිසා, නාස්තිය පුළුවන් තරම් අවම කරගන්න ක්‍රමවේද සෙවීමයි කළ යුතුව තියෙන්නේ.


ඒ වගේම රාජ්‍ය ආයතනවල භාණ්ඩ මිලදී ගැනීමේදී ගුණාත්මක භාවයෙන් අඩු භාණ්ඩ තමයි අද ගොඩක් දුරට ගන්නේ. පුටු ගත්තොත් අවුරුද්දක් යනකොට කැඩිලා යනවා, බෝඩ් එකක් ගත්තොත් මාස දෙක තුනකින් පාවිච්චි කරන්න බැරි වෙනවා. මේ තමයි නාස්තිය සහ දූෂණය. මේවා පාලනය කළොත් අපිට විශාල මුදල් අතිරික්තයක් ඇති කරගන්න පුළුවන්.


නාස්තිය අවම කරගැනීමට සහ මුදල් අතිරික්තයක් ඇති කරගැනීමට ජපානය වැනි රටවල ක්‍රමවේද අධ්‍යයනය කර බැලිය යුතුයි කියන එකයි මගේ යෝජනාව. ඒ රටවල් දියුණු වුණේ කොහොමද කියලා හොයලා ඒවා ආදර්ශයට ගන්න පුළුවන්. ඊට අමතරව, සිරගෙවල්වල සුළු වැරදි කරලා ඉන්න පිරිසට නිකන් ඉන්න නොදී ආර්ථික සංවර්ධනයට යොදාගන්න පුළුවන්. ලංකාවේ පුරන් වුණු කුඹුරු සහ ඉඩම් ඕනෑ තරම් තියෙනවා. ඒ පිරිස වගා කටයුතුවලටත්, රාජ්‍ය කර්මාන්ත ශාලාවලටත් යොදාගත්තොත් රටේ ආර්ථිකයට දායකත්වයක් ලැබෙනවා.


අපේ රටේ නිල විදේශ සංචිත ප්‍රමාණය ඩොලර් බිලියන 7 ඉක්මවා යනවා කියලා ජනාධිපතිවරයා කිව්වා. ඒ ගැනත් කතා කරමු?


පසුගිය ආණ්ඩුව පරාද වෙනකොටත් සංචිත ඩොලර් බිලියන 6කට ආසන්න ප්‍රමාණයක් තිබුණා. ඒ අගය සමග සංසන්දනය කරලා බැලුවාම ජනාධිපතිවරයා කියන ඩොලර් බිලියන හතේ ප්‍රමාණය ගැන විශාල සතුටක් ඇතිකරගන්න බැහැ. මොකද ලොකු පරතරයක් ඇති වෙලා නැහැ. මේ අවුරුදු කිහිපය තුළ වැඩි වෙලා තියෙන්නේ ඩොලර් බිලියන 1.5ක් පමණයි. ඒක විශාල ජයග්‍රහණයක් කියලා කියන්න අමාරුයි.


අනෙක, වාහන ආනයනය වැනි දේවල් දැන් නවත්තලා තියෙනවා. ඒ නිසා අපේ මුදල් ඉතුරු වෙලා තියෙනවා. ඒකත් සංචිත පවත්වාගැනීමට උපකාරයක්. නමුත් එයින් සංචිත ස්ථිරව ශක්තිමත් වුණා කියලා හිතන්න බැහැ. ඊට අමතරව, විදේශ ණය ඩොලර් බිලියන 41ක් ගෙවන්නත් තියෙනවා. ඒ ණය ගෙවන්න පටන් ගත්තාමයි නැවත සංචිත ප්‍රශ්නය මතුවෙන්නේ.

 

More News..