ප්‍රසංගවල වටිනාකම හෑල්ලු කරන්න එපා - ගායක ගායිකා සංගමය
23 September 2026 | නිර්මාණි තිලකසිරි
ප්‍රසංගවල වටිනාකම හෑල්ලු කරන්න එපා - ගායක ගායිකා සංගමය
23 September 2026 | නිර්මාණි තිලකසිරි
මංගල උත්සව, පෞද්ගලික සාද සහ අනෙකුත් උත්සවවලදී සංගීතය වාදනය කිරීම සඳහා රුපියල් 20,000 සිට 125,000 දක්වා බලපත්‍ර ගාස්තු අය කිරීමට නිර්මාණකරුවන්ගේ හා ප්‍රකාශකයන්ගේ සංගමය (ACPOSL) විසින් හඳුන්වා දී ඇති නව ගාස්තු ක්‍රමයට ශ්‍රී ලාංකේය ගායක ගායිකා සංගමය (SLASA එකඟ නොවන බව එම සංගමය අවධාරණය කරයි.
ගීත රචකයන්ගේ සහ තනු නිර්මාණකරුවන්ගේ බුද්ධිමය දේපළ අයිතිවාසිකම් ආරක්ෂා කළ යුතු බව පිළිගන්නා නමුත් එම අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ මුවාවෙන් සාමාන්‍ය ජනතාවට, සංගීත ශිල්පීන්ට සහ උත්සව සංවිධායකයන්ට අසාධාරණ මූල්‍ය බරක් පැටවීම අනුමත කළ නොහැකි බව ඔවුන් පෙන්වා දෙයි.
පෞද්ගලික ආයතනයක් වන නිර්මාණකරුවන්ගේ හා ප්‍රකාශකයන්ගේ සංගමය විසින් මෙවැනි ගාස්තු අය කිරීමට ඇති නීතිමය පදනම, ගාස්තු තීරණය කර ඇති ආකාරය සහ එකතු කරන මුදල් නිර්මාණකරුවන් වෙත බෙදාහරින ක්‍රමවේදය පිළිබඳව පැහැදිලි කිරීමක් ලබාදිය යුතු බව එම සංගමයේ සභාපති ප්‍රවීණ ගායන ශිල්පී විශාරද ජගත් වික්‍රමසිංහ පැවැසීය.
මේ සම්බන්ධයෙන් හෙතෙම මෙසේද පැවැසීය.
2003 අංක 36 දරන බුද්ධිමය දේපළ පනත ප්‍රකාරව ගායන ශිල්පියාට ගීතයෙ අයිතිවාසිකම අහිමිවෙලා තියෙනවා. ඒක සම්මත කරලා තියෙන්නේ ගීතයේ අයිතිය තියෙන්නේ පද රචකයාට සහ තනු රචකයාට සහ ගායනයට කියල. ගායනය කියන එක වසර පනහකට සීමා කරලා අනිත් දෙපළට මිය ගිහිල්ලත් වසර හැත්තෑවක් යනතුරු අයිතිය ලැබෙන විදිහට සදාචාරාත්මක අයිතිය, නෛතික සහ ආර්ථික අයිතිය, ලැබෙන විදිහට. නමුත් වසර පනහක් යනකන් ගායන ශිල්පීයාට නෙවෙයි ගායනයට තමයි මේ 2003නේ පනත හරහා ලැබිලා තියෙන්නේ.
මේ පනත පාවිච්චි කරලා යම් සමාගමක් පිහිටුවගෙන අත්තනෝමතික ලෙස මුදල් අයකර ගැනීම සිදුකරනවා. ඒකෙ ප්‍රතිඵලය සංගීත ප්‍රසංගවලින් අයථා ලෙස කර්තෘ භාගය අයකර ගැනීම නිසා සංගීත ප්‍රසංග ආශ්‍රිතව ජීවිකාව කරන විශාල පිරිසක් අපහසුතාවයට පත්වෙනවා. ඒකෙන් ප්‍රසංග සීමා වෙනවා. කර්තෘ භාග අයකරන්න එපා කියන්නේ නෑ අපි. අපි කියන්නේ ලෝකේ රටවල්වලිනුත් ආදර්ශය අරගෙන ඒක සාධාරණ ලෙස කරන්න කියලා. මේ වෙද්දි ඔස්කා කියලා ආයතනයක් පවත්වගෙන යනවා ඔවුන් විසින් ගායකයන්ගේ කටහඬ වෙනුවෙන් රූපවාහිනි සහ ගුවන් විදුලි ආයතනයන්ගෙන් මුදල් අයකෙරුවත් මේ වෙනක් එම කර්තෘභාග කොටස් අපිට ලබාදීලා නෑ. ගීතයක් පිළිබඳ ආධිපත්‍ය පතුරවන්න ගායකයත් බැහැර කරලා ඒ අයට තියෙන අයිතිය කවුද දුන්නේ. අපි බුද්ධිමය දේපළ කාර්යාලයෙන් ඇහුව ඔවුන්ද මේ බලය ලබාදුන්නේ කියලා රුපියල් දස දහසක් ගන්න කියලා ගීතයකින්. විගණන වාර්තා අරගෙන තියෙනවද කියලා ඇහුවම ඒකත් නෑ කීවා. මේවා අක්‍රමිකතා නෙවෙයිද? අපි මෙතනදි කියන්නෙ කාගෙවත් දේවල් කඩාවඩා ගන්න කියල නෙවෙයිනේ. ගායකයකු කටහඬ ඔවුන්ගේ ජීවිතය ඉවරවෙන්නත් කලින් ඉවර වෙනව ඒ වුණාට ඒ කටහඬ භාවිත කරල කරන ප්‍රසංග වටිනාකම හෑල්ලු කරන්න එපා. අපි කියන්නෙ සම අයිතිවාසිකමක් තුන්දෙනාම සලස්වන්න කියල. ඒකට පටහැනිවෙලා අපිට අපහාස කරන්න එපා.

