brand logo
logo
නියමිත පරිදි ඖෂධ ගන්න එච්අයිවී ආසාදිතයෙක්ට සාමාන්‍ය පවුල් ජීවිතයක් ගතකරන්න පුළුවන්

නියමිත පරිදි ඖෂධ ගන්න එච්අයිවී ආසාදිතයෙක්ට සාමාන්‍ය පවුල් ජීවිතයක් ගතකරන්න පුළුවන්

13 August 2026 | සංවාදය - ශ්‍රියානි විජේසිංහ

පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුළ මෙරටින් ඒඩ්ස් හැර අනෙකුත් ලිංගාශ්‍රිත රෝගීන් දසදහස ඉක්මවා වාර්තා වී ඇති බව ශ්‍රී ලංකා ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි. විශේෂයෙන්ම කොළඹ සහ ගම්පහ ප්‍රදේශවල ලිංගාශ්‍රිත රෝගවල යම් වැඩිවීමක් වී ඇති බව කියැවෙයි. මේ පිළිබඳව ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහනේ ලිංගාශ්‍රිත රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය විනෝ ධර්මකුලසිංහ සමඟ "අරුණ" කළ සාකච්ඡාවකි මේ.


කොළඹ හා ගම්පහ ප්‍රදේශවල ලිංගාශ්‍රිත රෝග වැඩි වී තිබෙන බව කියැවෙනවා. ඒ ගැන අපි මුලින්ම කතා කරමු?


ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්දන වැඩසටහන මගින් දිවයිනේ දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි පවත්වාගෙන යන සායන 40ට ප්‍රතිකාර හා සේවා ගැනීම සඳහා පැමිණි පුද්ගලයින්ගේ තොරතුරු විශ්ලේෂණය කිරීමේදී ලිංගාශ්‍රිත රෝගවල යම් වැඩිවීමක් පෙන්නුම් කළා. එහිදී සෑම දිස්ත්‍රික්කයකින්ම ලිංගාශ්‍රිත රෝග වාර්තා වී තිබෙනවා. ඒ අතරින් කොළඹ හා ගම්පහ ප්‍රදේශවල ආසාදිතයන්ගේ යම් වැඩිවීමක් පෙන්නුම් කරනවා.


ලිංගාශ්‍රිත රෝග කියන්නේ ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝගවලට පමණද?


නැහැ. ලිංගාශ්‍රිත රෝගයක් කියලා හඳුන්වන්නේ ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝගවලට පමණයි කියලා ඇතැමුන් වැරැදියට හිතාගෙන ඉන්නවා. ඒත් ලිංගාශ්‍රිත රෝග කියන්නේ ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝග පමණක්ම නොවෙයි. ලිංගාශ්‍රිත ප්‍රදේශවල ඇතිවිය හැකි ඕනෑම රෝගයක් ලිංගාශ්‍රිත රෝග ලෙස හඳුන්වනවා.


ලිංගාශ්‍රිත රෝග වැඩිවීම පාලනය කර ගැනීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග මොනවාද?


අවදානම් ලිංගික චර්යාවන්ගේ යෙදෙන පුද්ගලයන්ව ප්‍රතිකාර සඳහා යොමුකරවා ගැනීමට කටයුතු කිරීමයි පළමුවෙනි ක්‍රියාමාර්ග ය. ලිංගාශ්‍රිතව බෝවන රෝග වළක්වා ගැනීමේ ක්‍රම පිළිබඳව මාධ්‍ය දැනුම්වත් කරලා මාධ්‍ය හරහා ඒ පණිවුඩය ජනතාව අතරට ගෙන යාමෙන් අවදානම් ලිංගික චර්යාවන්ගේ යෙදෙන පුද්ගලයන්ව ප්‍රතිකාර සඳහා යොමුකරවා ගැනීමට හැකියාව තිබෙනවා. ලිංගාශ්‍රිත රෝග සායනයකට යොමු වූ පසුව රෝගීන් පරීක්ෂා කර අවශ්‍ය පරීක්ෂණ කරලා නිසි ප්‍රතිකාර දෙනවා. ඒ වගේම එච්අයිවී වැලඳී ඇති පුද්ගලයන්ට අවශ්‍ය ප්‍රතිකාර අඛණ්ඩව දීම සහ ඔවුන්ව සායන වෙත ගෙන්වා ගැනීමට කටයුතු කිරීමත් කරනවා.


එච්අයිවී ඇතුළු ලිංගාශ්‍රිතව බෝවන රෝග පාලනය සඳහා මේ වන විට සාර්ථක ප්‍රතිකාර තිබෙනවාද ?


ඔව්, සාර්ථක ප්‍රතිකාර තිබෙනවා. රජයේ ලිංගාශ්‍රිත රෝග සායන හරහා නොමිලේ එම ප්‍රතිකාර දෙනවා. අවදානම් ලිංගික චර්යාවක නියැළී සිටින අයට ළඟම පිහිටි ලිංගාශ්‍රිත සායන වෙත ගිහින් අවශ්‍ය පරීක්ෂණ කටයුතු කරගෙන ප්‍රතිකාර ගැනීමට හැකියාව පවතිනවා.


යම් පුද්ගලයෙක් ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝගයකින් පෙළෙන බව අඟවන ලක්ෂණ මොනවාද?


ලිංගාශ්‍රිතව සම්ප්‍රේක්ෂණය වන රෝග වැලඳී ඇති බව අඟවන රෝග ලක්ෂණ මතු වන්නේ වයිරසය ශරීර ගතවී බොහෝ කාලයක් ගත වූ පසුවයි. නමුත් අවදානම් ලිංගික චර්යාවන්ගේ යෙදෙන පුද්ගලයෙක් නම් ලිංගාශ්‍රිත සායනය වෙත ගොස් අදාළ පරීක්ෂා කර ගැනීමෙන් ඔහුට ලිංගාශ්‍රිත රෝගයක් වැලඳී තිබෙනවාද නැද්ද යන්න පිළිබඳව සැකහැර දැන ගැනීමට හැකියාව තියෙනවා.


සිපිලිස් නැතිනම් උපදංශ රෝගය ඇති වන්නේ “ට්‍රෙපොනිමා පැලිඩම්” කියන බැක්ටීරියාව මගින්. මෙම බැක්ටීරියාව ශරීරගත වී මාස තුනක් පමණ යන විට ලිංගික ප්‍රදේශයේ වේදනාවක් නැති කුඩා තුවාලයක් මතුවෙන්න පුළුවන්. ප්‍රතිකාර කළත් නොකළත් මේ තුවාලය ඉබේම සුවවෙනවා. නමුත් සිපිලිස් බෝකරන බැක්ටීරියාව ශරීරය තුළම තියෙනවා. මාසය හයක් අවුරුද්දක් පමණ ගත වන විට නැවැත සිපිලිස් මතුවෙනවා. දෙවන වරට රෝගය මතු වීමේදී ශරීරය පුරාම රතුපැහැති පැල්ලම් හටගන්නවා. විශේෂයෙන්ම අත් සහ යටිපතුල්වල මෙම පැල්ලම් දකින්න පුළුවන්. කටේ තුවාල, ලිංගික ප්‍රදේශයේ ගැටිති තත්ත්වයන් මතුවෙනවා. ප්‍රතිකාර නොකරම මේ පැල්ලම් සුවවෙනවා. නමුත් පැල්ලම් සුව වුණත් බැක්ටීරියාව ශරීරය තුළම තියෙනවා. මේ විදිහට ශරීරය තුළ තියෙන බැක්ටීරියාව අවසාන වශයෙන් ස්නායු පද්ධතියට, හෘදයට හා අස්ථි පද්ධතියට හානිකරන්නත් ඉඩ තියෙනවා. මෙය ඉතා භයානක තත්ත්වයක්. එවැනි භයානක අවස්ථාවට පැමිණි පසුව සුව කරන්න අපහසුයි. අවදානම් ලිංගික චර්යාවන්ගේ යෙදෙන පුද්ගලයෙක් නම් හෝ තම සහකාරිය හෝ සහකරුවා සම්බන්ධයෙන් සැකයක් පවතින්නේ නම් වහාම ළඟම පිහිටි රජයේ ලිංගාශ්‍රිත රෝග සායනය වෙත පැමිණ පරීක්ෂා කර ගන්න කියලයි අපි ජනතාවට කියන්නේ. මුල් අවස්ථාවේදීම රෝගය හඳුනා ගත්තොත් එය සුව කරන්න හැකියාව තියෙනවා.


අවදානම් ලිංගික චර්යාවන්ගේ යෙදෙන පුද්ගලයකුට රජයේ සායනයක් වෙත පැමිණ අදාළ සේවා ලබාගත හැකි ආකාරය ගැන පැහැදිලි කිරීමක් කළොත්?


ඒ සඳහා කිසිම කෙනෙකුගේ යොමුකිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. රජයේ රෝහලේ ක්‍රියාත්මක වන ලිංගාශ්‍රිත සායනය වෙත සෘජුවම යොමු වී එහි සිටින හෙද නිලධාරීනියගෙන් හෝ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් අවශ්‍ය තොරතුරු අරගෙන සායනයේ ලියාපදිංචි විය හැකියි. ලියාපදිංචි වීමෙන් අනතුරුව වෛද්‍යවරයෙක් වෙත යොමු කරනවා. ඉන් පසුව අවශ්‍ය පරීක්ෂණ කටයුතු හෝ වැඩිදුර ප්‍රතිකාර ගන්න පුළුවන්.


ඒ හැරුණු කොට KNOW4SURE.lk වෙබ් අඩවියට පිවිසී ළඟම පිහිටි රජයේ රෝහලේ ලිංගාශ්‍රිත සායනයෙන් පරීක්ෂණ සඳහා දිනයක් හා වෙලාවක් වෙන්කරවා ගැනීමටත් හැකියාව පවතිනවා.




විවිධ හේතු නිසා ඇතැමුන් රජයේ සායනයක් වෙත පැමිණ අදාළ පරීක්ෂණ කර ගැනීමට අකැමැති වෙන්නත් පුළුවන් නේ?


ඔව්. එවැනි තත්ත්වයකදී KNOW4SURE.lk මගින් එච්අයිවී ස්වයං පරීක්ෂණ කට්ටලයක් නිවසට නොමිලේම ගෙන්වා ගන්නත් පුළුවන්. KNOW4SURE.lk ට ප්‍රවේශ වෙලා ප්‍රශ්නාවලියකට පිළිතුරු දීලා තමන්ගේ ලිංගිකව බෝවිය හැකි රෝග අවදානම තක්සේරු කර ගැනීමේ තවත් ක්‍රමයකුත් තියෙනවා. එම වෙබ් පිටුව තුළින් ක්ෂණික දුරකථන අංකයන් හඳුන්වා දී තිබෙනවා. එම දුරකථන අංකය මගින් ලිංගිකව සම්ප්‍රේක්ෂණය වන රෝග සම්බන්ධ ඕනෑම ප්‍රශ්නයකට පිළිතුරු ලබා ගත හැකියි.


ලිංගාශ්‍රිත රෝග හඳුනාගැනීම සඳහා කරන පරීක්ෂණ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කළොත්?


අවදානම් චර්යාවන්ගේ යෙදෙන පුද්ගලයන් තමන්ට ලිංගාශ්‍රිත රෝගයක් පවතිනවාද නැද්ද කියලා රුධිර පරීක්ෂණ, මුත්‍රා පරීක්ෂණ, හෝ ලිංගික ස්‍රාව පරීක්ෂණ මගින් සැකහැර දැනගැනීමේ හැකියාව පවතිනවා. අවදානම් ලිංගික චර්යාවන්ගේ යෙදෙන පුද්ගලයෙක් හෝ ඒ සම්බන්ධ සැකයක් පවතින අයෙකුට ලිංගාශ්‍රිත සායනයක් වෙත පැමිණ පරීක්ෂා කරගැනීම් කර ගන්න පුළුවන්.


අවදානම් ලිංගික චර්යාවන්ගේ යෙදෙන බොහෝ දෙනෙක් තමන්ගේ රහස්‍යභාවය හෙළිවේ යැයි කියන බිය නිසා ලිංගාශ්‍රිත රෝගවලට ප්‍රතිකාර ප්‍රතිකාර ගැනීම මඟහරිනවා වෙන්නත් පුළුවන්?


රජයේ රෝහල් මගින් පවත්වාගෙන යන ලිංගාශ්‍රිත සායනයන් වෙත පැමි‍ණෙන සියලුම පුද්ගලයන්ගේ රහස්‍යභාවය සියයට සියයක්ම ආරක්ෂා කිරීමට අපි බැදී සිටිනවා. ඒ ගැන සැකයක් ඇති කර ගත යුතු නැහැ. ඒ නිසා තමන්ගේ අනන්‍යතාව හෙළි වෙයි කියන බිය නිසා ප්‍රතිකාර ගැනීමෙන් වැළකී සිටින්න එපා කියලා අපි අදාළ පුද්ගලයන්ට නැවැත නැවැත මතක් කරනවා.


ජාතික ලිංගාශ්‍රිත වැඩසටහන මගින් කොළඹ හා ගම්පහ ජනාකීර්ණ ප්‍රදේශවල ලිංගාශ්‍රිත රෝග මර්දන වැඩසටහන මගින් ක්‍රියාත්මක කරන ජංගම රථ සේවාව මොකක්ද?


රජයේ රෝහල් වෙත පැමිණීමට අපහසු පුද්ගලයන් වෙනුවෙන් අපි ජංගම රථ දෙකක් කොළඹ නගරය ආශ්‍රිතව සහ ගම්පහ නගරය ආශ්‍රිතව ස්ථාපිත කළා. එය නව වැඩසහනක් ලෙසයි පසුගියදා ආරම්භ වුණේ. අපේ සේවාව අවශ්‍ය පුද්ගලයෙක් ඉන්නවා නම් ජංගම සායන වෙත පැමිණ ඒ බව සඳහන් කළොත් අපි එම පුද්ගලයාට ජංගම රථය තුළදීම අවශ්‍ය සියලුම පරීක්ෂණ කටයුතු කර දීම, අවශ්‍ය නම් වෛද්‍ය උපදෙස් පමණක් නොවෙයි ප්‍රතිකාර දීමටත් කටයුතු කරනවා. අපගේ සේවාවන් ලබා ගැනීමට පැමිණෙන සියලුම දෙනාගේ රහස්‍යභාවය ආරක්ෂා කරනවා. අපිට මේ එච්අයිවී පරීක්ෂණ පුළුල් කිරීමේ කර්තව්‍ය කරගෙන යාමට රාජ්‍ය නොවන සංවිධානවලිනුත් උදව් ලැබෙනවා. රාජ්‍ය නොවන සංවිධානවල නියෝජිතයන් තමයි අදාළ පුද්ගලයන්ව ජංගම රථය වෙත යොමු කරවීමට කටයුතු කරන්නේ.




ලිංගාශ්‍රිත රෝග ගැන කතා කරද්දි බොහෝ දෙනෙක්ට මතක් වෙන්නේ වෙන්නේ එච්.අයි.වී රෝගයනේ. අපි ඒ ගැනත් කතා කරමු?


එච්අයිවී සහ ඒඩ්ස් කියන්නේ රෝග තත්ත්ව දෙකක්. එච්අයිවී වයිරසය ආසාදනය වූ අයට එය පාලනය කිරීමට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර අප සායනයන් තුළින් නොමිලේ ගන්න පුළුවන්. නමුත් ප්‍රතිකාර සඳහා යොමු නොවුණොත් එවැනි පුද්ගලයන් ඒඩ්ස් තත්ත්වයට පත්වෙනවා. ඒඩ්ස් තත්ත්වයට පත් වුණාට පසුව සුව කිරීමේ හැකියාවක් නැහැ. මොකද ඒඩ්ස් තත්ත්වය තුළදී වෙන්නේ ප්‍රතිශක්තිකරණ පද්ධතියට පහර දී එය අඩපණ කිරීමයි. එවැනි පුද්ගලයන් ඕනෑම ආසාදනයකින් මිය යන්න වුණත් ඉඩ තියෙනවා.


එච්අයිවී ආසාදිතයකුට ඒඩ්ස් තත්ත්වයට පත් නොවීම සඳහා කරන ප්‍රතිකාරය මොකක්ද?


එය හඳුන්වන්නේ ප්‍රතිවයිරස් ඖෂධ (ART) යන නමින්. ඉතා කුඩා ඖෂධ පෙත්තක්. ජීවිත කාලය පුරාම එච්අයිවී ආසාදිතයකු ඒ ඖෂධ ගත යුතු වෙනවා. එවිට රුධිරයේ පවතින වයිරස් ප්‍රමාණය අවම තත්ත්වයට පත්වෙනවා. එවැනි පුද්ගලයකු සමග ලිංගික සබඳතාවන් පැවත්වුවත් ඔහුගෙන් අනෙක් පුද්ගලයාට වයිරසය ආසාදනය වෙන්නේ නැහැ. ඔහුට සාමාන්‍ය ජීවිතයක් ගත කරන්න පුළුවන්. සරලවම කියනවා නම් එවැනි පුද්ගලයෙක්ට පවුල් ජීවිතයක් වුණත් ගතකිරීමේ හැකියාව තියෙනවා.


එච්අයිවී සමග ජීවත්වන පුද්ගලයන් කොපමණ සංඛ්‍යාවක් මේ වන විට හඳුනාගෙන තිබෙනවාද?


එච්අයිවී සමග ජීවත් වන පුද්ගලයන් 5000ක් පමණ මේ වන විට හඳුනාගෙන සිටිනවා. පසුගිය වසරේදී අපි අලුතින් එවැනි පුද්ගලයන් 874ක් හඳුනා ගත්තා.


වැඩි වශයෙන්ම එච්අයිවී ආසාදිතයන් බවට පත්වී තිබෙන්නේ කුමන වයස් කාණ්ඩවල අයද?


ලිංගිකව සක්‍රීය වයසේ පසුවන අය වැඩි වශයෙන් ආසාදිතයන් බවට පත්ව තිබෙනවා. නමුත් පසුගිය වසර කීපයේදීම අවුරුදු 15 – 24 නව යොවුන් වයස් කාණ්ඩයේ පසුවන අය ආසාදිතයන් වීමේ යම් වැඩිවීමක් දක්නට ලැබුණා.


පසුනිවාරණ ප්‍රතිකාර ක්‍රමය යනුවෙන් හඳුන්වන්නේ මොකක්ද?


අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයකින් පසුව පැය 72ක් ඇතුළත කෙරෙන ප්‍රතිකාර තමයි පසු නිවාරණ ප්‍රතිකාර කියලා කියන්නේ. අනාරක්ෂිත ලිංගික සම්බන්ධතාවයකින් පසුව පැය 72ක් ඇතුළත ඒ ප්‍රතිකාර සඳහා යොමු වුවහොත් එච්අයිවී ආසාදනය වීම වළක්වා ගන්න පුළුවන්කම තියෙනවා.




ගැබිනි මව්වරුන් වෙනුවෙන් ජුලි පළමු වෙනිදා සිට ආරම්භ කළ නව පරීක්ෂණය කුමක්ද?


සියලුම ගැබිනි මව්වරුන්ව එච්අයිවී සහ සිපිලිස් රෝගයන් සඳහා වන පරීක්ෂණ කරනවා. ජුලි 01 වෙනිදා සිට හෙපටයිටීස් බී සඳහා වන පරීක්ෂණයත් අලුතින් ඇතුළත් කරලා තියෙනවා. එසේ හඳුනාගත් එච්අයිවී, සිපිලිස්, හා හෙපටයිටීස් වයිරස් ආසාධිත හැම ගැබිනි කාන්තාවකටම නිසි ප්‍රතිකාර කලින් ලබා දීමෙන් එච්අයිවී, සිපිලිස් හා හෙපටයිටිස් නැති නීරෝගී දරුවෙක් බිහිකරන්න අවස්ථාව සලසා තිබෙනවා.


 

More News..