පුටින් ඉන්දියාවට
11 September 2026
පුටින් ඉන්දියාවට
11 September 2026
18වැනි බ්‍රික්ස් (BRICS) රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉන්දියාවට පැමිණ තිබේ.
මෙම සමුළුව හෙට සහ අනිද්දා (12, 13) දෙදින නවදිල්ලි නුවරදී පැවැත්වෙන අතර, එම සමුළුව අතරතුර රුසියානු ජනාධිපතිවරයා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමටද නියමිතය.
දෙරට අතර පවතින උපායමාර්ගික, ආර්ථික හා රාජ්‍යතාන්ත්‍රික සබඳතා තවදුරටත් ශක්තිමත් කරගැනීමද මෙම හමුවේ ප්‍රධාන අරමුණක් වී ඇත.
මේ අතර මෙම සමුළුව සඳහා චීන ජනාධිපති, දකුණු අප්‍රිකානු ජනාධිපති, මැලේසියානු අගමැති, ඊජිප්තු, ඉරාන ජනාධිපති, ඉන්දුනීසියානු ජනාධිපති, අබුඩාබි ඔටුන්න හිමි කුමරු සහ ඉතියෝපියානු අගමැති මෙන්ම එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාද එක්වේ.
සාමාජික රටවල නියෝජිතයන් මෙහිදී ගෝලීය වෙළෙඳාම, බලශක්ති සහයෝගීතාව සහ කලාපීය ආරක්ෂාව ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳ මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.
චීන ජනාධිපති ෂී ජින් පිං ඉන්දියාවට පැමිණෙන්නේ වසර 7කට පසුව වන අතර, ඒ අනුව ඉන්දියාව හා චීනය හෙට (12) පස්වරුවේ වෙළඳාම සහ ආයෝජන ඇතුළු ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳ සාකච්ඡා පවත්වනු ඇත.
එමෙන්ම අගමැති මෝදි අද (11) ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමග ද සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබේ.
'බ්‍රික්ස්' බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාවේ සහභාගිත්වයෙන් ආරම්භ වූ අතර, ඒ සඳහා 2024 වසරේ දී ඊජිප්තුව, ඉතියෝපියාව, ඉරානය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය එක්ව විය.
එමෙන්ම ඉන්දුනීසියාව පසුගිය වසරේ මෙම කණ්ඩායමට එක්ව ඇත.

