පොලීසිවලට දුන් මාර්ගෝපදේශ ක්රියාත්මක නැහැ - මානව හිමිකම් කොමිසම
29 October 2026
පොලීසිවලට දුන් මාර්ගෝපදේශ ක්රියාත්මක නැහැ - මානව හිමිකම් කොමිසම
29 October 2026
පොලිස් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්රියාමාර්ග පිළිබඳ පොලිස්පතිවරයාට යොමු කළ මාර්ගෝපදේශ මාලා පොලිසිවලට දැනුම්දී ඇතත් ප්රායෝගිකව ක්රියාත්මක නොවන බව හෝමාගම සිදුවීමෙන් පෙනී යන බවද ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමේ කොමසාරිස් නීතිඥ නිමල් ජී. පුංචිහේවා ‘අරුණ’ට පැවැසීය.
පොලිස් අත්අඩංගුවට ගන්නා සැකකරුවන් පොලිස් සිර මැදිරි තුළදී මෙන්ම ආයුධ පෙන්වීමට ගෙනයාමේදී මියයාමේ සිද්ධීන් හැත්තෑ නවයක් වසර පහක් තුළ වාර්තා වී තිබූ බවද කොමසාරිස්වරයා සඳහන් කළේය.
එම තත්ත්වය වැළැක්වීම සඳහා ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම මගින් පොලිස්පතිවරයා වෙත මාර්ගෝපදේශන මාලාවක් නිකුත් කළ බවත් පොලිස්පතිවරයා විසින් ඒ පිළිබඳව සියලුම පොලිස් ස්ථාන දැනුම්වත් කිරීමට පියවර ගත් බවත් ඔහු කියා සිටියේය.
හෝමාගම පොලිසිය මගින් අත්අඩංගුවට ගත් තරුණයෙක් මියයාම බරපතළ සිද්ධියක් යැයිද එම සිද්ධියට අදාළව අධිකරණ වෛද්ය වාර්තා ලැබුණු පසු ඒ පිළිබඳ ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම පුළුල් විමර්ශනයක් කරන බවද කොමසාරිස්වරයා කියා සිටියේය.
2020 වසරේ සිට 2025 දක්වා වසර පහක කාලයේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන සිරමැදිරිවල සිටියදී පුද්ගලයන් 49 දෙනෙක් සහ පොලිස් අත්අඩංගුවට ගෙන ආයුධ පෙන්වීමට ගෙන යාමේදී පුද්ගලයන් 30ක් වශයෙන් සැකකරුවන් 79 දෙනෙක් මියගොස් තිබෙන වබ ඔහු සඳහන් කළේය.
මේ තත්ත්වය හමුවේ අත්අඩංගුවට ගන්නා සැකකරුවන් සම්බන්ධයෙන් අනුගමනය කළ යුතු ක්රමවේද පොලිස්පතිවරයා වෙත යොමු කළ බවද කොමසාරිස්වරයා පැවැසීය.
මානව හිමිකම් කොමිසම නිකුත් කළ මාර්ගෝපදේශන මාලාව ඇතුළත් චක්රලේඛය පොලිස්පතිවරයා විසින් සියලුම පොලිස් ස්ථාන වෙත යොමු කර තිබූ මුත් හෝමාගම සිද්ධියත් සමග එම මාර්ගෝපදේශන නොතකා කටයුතු කර ඇති බව නිරීක්ෂණය වන බවද හෙතෙම සඳහන් කළේය.
හෝමාගම සිද්ධිය සැලවූ වහාම ශ්රී ලංකා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් මියගිය තරුණයාගේ ඥාතීන් සහ හෝමාගම පොලිස් නිලධාරීන් හමු වී ඒ පිළිබඳව මූලික විමර්ශන සිදුකළ බවත් පසුව ඥාතීන් පැමිණ කොමිසම හමුවේ පැමිණිලි කළ බවත් එම කොමිසමේ කොමසාරිස්වරයා කීය.
මෙම සිද්ධියට අදාළව ප්රකාශ ලබාගැනීම සඳහා හෝමාගම පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු පොලිස් නිලධාරීන් සිවුදෙනෙක් අද (29 වැනිදා) ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා ඇතැයි ද මෙම සිද්ධිය පිළිබඳවත්, පොලිස්පති වෙත යොමු කළ මාර්ගෝපදේශන මාලාව නොසලකා කටයුතු කිරීම පිළිබඳව ඉදිරි ක්රියාමාර්ග ගන්නා බවද ඔහු කියා සිටියේය.

