brand logo
logo
ඩයලොග් ජනාධිපති රන් කුසලාන 2026 ඇරඹේ

ඩයලොග් ජනාධිපති රන් කුසලාන 2026 ඇරඹේ

13 July 2026


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ක්‍රීඩා ප්‍රවර්ධකයා වන ඩයලොග් ආසිආටා පී.එල්.සී වෙතින් 19 වැනි වසරටත් සවිගන්වනු ලබන, ජාතික ක්‍රීඩාවේ උණුසුම ගම් නියම්ගම් කරා රැගෙන යන ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරගාවලිය 2026 සැප්තැම්බර් මස ඇරඹීමට නියමිතය.


ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ මෙහෙයවීමෙන් පැවැත්වෙන ‘ඩයලොග් ජනාධිපති රන් කුසලාන’ යනු මෙරට ගම් මට්ටමේ කණ්ඩායම් ජාතික තලයට නංවන, එකම වාර්ෂික විවෘත වොලිබෝල් ඉසව්ව වේ.


වර්ෂ 1991දී නවීකරණය වූ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී එවක ජනාධිපතිතුමන් ප්‍රධානත්වයෙන් පළමු රන් කුසලාන තරගාවලියේ අවසන් මහා තරගය පැවැත්වීමට යෙදීමේ පටන් මේ දක්වා වසර 35ක ඉතිහාසයක් ඇති එම තරගාවලියේ, අවසන් දශක දෙකක් පුරා අනුග්‍රාහකයා ලෙසින් ඩයලොග් ආසිආටා රැඳී සිටීම කැපී පෙනෙයි. ඒ අනුව වර්ෂ 2005දී ඩයලෝග් ජනාධිති රන් කුසලාන තරගාවලියට නව පණක් දෙමින් මෙරට ජාතික ක්‍රීඩාවට සවි දීම සඳහා එක්වූ ඩයලොග් ආසිආටා සමාගම මේ දක්වා අඛණ්ඩව මෙම තරගාවලිය හා රැඳී සිටින අතර, එම සබැඳියාව තවදුරටත් පෙරට යමින්, කාන්තා සහ පිරිමි ජාතික වොලිබෝල් කණ්ඩායම්වල ප්‍රධාන අනුග්‍රාහකයා බවටද පත්ව සිටියි.


ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින් කණ්ඩායම් පෙළගැසෙන මෙම තරගාවලිය මෙවර දිස්ත්‍රික් සහ ජාතික ලෙසින් අදියර දෙකකින් යුක්තව පැවැත්වීමට කටයුතු සංවිධානය වී තිබේ. ඒ අනුව පළමු අදියරේදී දිස්ත්‍රික් මට්ටමින් තරග පැවැත්වෙන අතර එම දිස්ත්‍රික්කවල පළමු ස්ථාන ලබාගන්නා කණ්ඩායම් 50 (පිරිමි කණ්ඩායම් 25 සහ කාන්තා කණ්ඩායම් 25) ජාතික මට්ටමේ තරගාවලිය කරා කැඳවෙනු ඇත.


ඩයලොග් ජනාධිපති රන් කුසලාන තරගාවලියේ දිස්ත්‍රික් මට්ටමේ තරග සැප්තැම්බර් මස මුල සිට සති අන්තවලදී පැවැත්වෙන අතර ඉන් දෙමසක ඇවෑමෙන් ජාතික මට්ටමේ තරගාවලිය පැවැත්වීමට සැලසුම් කර තිබේ.


මෙවර තරගාවලියේදී වයස් භේදයකින් තොරව සංවිධානය වෙමින් කණ්ඩායම් ඉදිරිපත් කිරීමට අවසර ඇති බැවින් ගමේ යොවුන් වොලිබෝල් ජවය මෙන්ම අත්දැකීම් බහුල ක්‍රීඩක දක්ෂතාද එකම කණ්ඩායමක් තුළින් දැකබලාගැනීමට අවස්ථාව සැලසේ.


අදාළ ප්‍රදේශීය ලේකම් කොට්ඨාශය තුළ අවම වශයෙන් වසර තුනක පදිංචිකරුවන්ට එම ප්‍රෙද්ශයේ ක්‍රීඩා සමාජ නියෝජනය කරමින් තරගාවලියට ඉදිරිපත්විය හැකි බව සංවිධායකයෝ පවසති. 

තරගාවලිය සඳහා අයැදුම්පත් භාරගැනීම අගෝස්තු මස 15 වැනිදා දිනයෙන් අවසන්වීමට නියමිතය.

 

“මෙම ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේදී දශක දෙකක අඛණ්ඩව අනුග්‍රාහකයා ලෙසින් රැඳී සිටීමට අපට හැකිවුණා. මෙරට ජාතික ක්‍රීඩාව සමග මේ තරම් දිගු කාලයක් අඛණ්ඩව කටයුතු කිරීමට ලැබීම අපට භාග්‍යයක්. ඩයලොග් මෙරට ක්‍රීඩාවේ ප්‍රමුඛතම අනුග්‍රාහකයා ලෙසින්, ගම් මට්ටමේ සිට ජාත්‍යන්තරය දක්වා මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැගෙන යෑම අපගේ අභිප්‍රාය වෙනවා. ඒ උදෙසා මෙවැනි තරගාවලියක් ඉතාම වැදගත්. එම වැදගත්කම මනාව තේරුම් ගනිමින් ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය මේ තරගාවලිය වෙනුවෙන් කරනු ලබන කැපකිරීම, අපට මේ තරම් දිගු කාලයක් මෙම තරගාවලිය හා රැඳීසිටීමට හේතු වුණුබවත් කිවයුතුයි.’’ යනුවෙන් ජනාධිපති රන් කුසලාන වොලිබෝල් 2026 තරගාවලිය වෙනුවෙන් ඉකුත්දා කොළඹ පැවැති මාධ්‍ය හමුවේදී ඩයලොග් ආසිආටා පී.එල්.සී සමාගමේ සමූහ ප්‍රධාන අලෙවි නිලධාරී ලසන්ත තෙවරප්පෙරුම මහතා පවසා සිටියේය.


“එදා සුගතදාස ක්‍රීඩාංගණය ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩාංගණයක් ලෙසින් රටට දායාද වන මොහොත සනිටුහන් කරමින් ඇරැඹුණු ජනාධිපති රන්කුසලාන තරගාවලියට නව පණක් ලබාදුන්නේ ඩයලොග් සමාගමයි. ඒ අනුග්‍රාහකත්වයේ ශක්තියෙන්, ගම් මට්ටමේ සිට ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම දක්වා පැමිණි ක්‍රීඩකයන් සිටිනවා. මෙරට ගම් දනව්වලින් පවා බිහිවන ක්‍රීඩකයන් ජාත්‍යන්තරය දක්වාම රැගෙන යෑමට අවශ්‍ය මග විවර කරදීමට ඩයලොග් සමාගම ලබාදෙන මෙම අනුග්‍රාහකත්වය අපි මහත් සේ අගය කරනවා.” යැයි එම අවස්ථාව එක්වූ ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සභාපති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සජීව මැදවත්ත මහතා පැවසීය.


නරඹන්නන්ට Dialog TV, Dialog Play app සහ ThePapare.com හරහා සම්බන්ධ විය හැකි අතර, එමඟින් දිවයින පුරා සිටින සිසුන්ට, ආදි ශිෂ්‍යයින්ට, දෙමාපියන්ට, කණ්ඩායම් ආධාරකරුවන්ට සහ සියලු වොලිබෝල් ලෝලීන්ට මෙම තරගාවලිය අඛණ්ඩව නැරඹිය හැකි වේ. 


ඩයලොග් ආසිආටා, ක්‍රිකට්, වොලිබෝල් සහ Esports ජාතික කණ්ඩායම්වල සාඩම්බර අනුග්‍රාහකයා මෙන්ම, ශ්‍රී ලංකා විවෘත ගොල්ෆ් ශූරතාවලියේ ද ප්‍රමුඛ අනුග්‍රාහකයා වේ. ජාතික පැරාලිම්පික් කමිටුව සඳහා සක්‍රීය අනුග්‍රාහකත්වය පිරි නැමිම තුළින් මෙරට ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික හා ජාත්‍යන්තර ශූරතාවලි සඳහා සහභාගී වීමට හැකියාව සලසමින්, ඩය‌ලොග්, ක්‍රිඩාවේ විවිධත්වය, සමානාත්මතාව හා අන්තර්කරණය ප්‍රවර්ධනය කරයි. තවද, හෙට දිනයේ ශූරයන් බලගැන්වීම සඳහා වන සිය කැපවීමට අනුකූලව ජනාධිපති රන් කුසලාන වොලිබෝල්, ජාතික කනිෂ්ඨ සහ ජ්‍යෙෂ්ඨ නෙට්බෝල් තරගාවලි මෙන්ම පාසල් රග්බි ක්‍රීඩාව බල ගැන්වීමට ඩයලොග් කටයුතු කරනු ලබයි. 


 

More News..