ඉරානයට යුරේනියම් එපා සවුදියට යුරේනියම් හොඳයි
24 July 2026
ඉරානයට යුරේනියම් එපා සවුදියට යුරේනියම් හොඳයි
24 July 2026
මේ වන විටත් යුද්ධයකට මැදි වී සිටින මැදපෙරදිගට පසුගියදා ඇමරිකාව හා සවුදි අරාබිය අතර අත්සන් කෙරුණු න්‍යෂ්ටික ගිවිසුම් නරක අතට බලපානු ඇතැයි යුද විශේෂඥයෝ ප්‍රකාශ කරති. ඔවුන් පවසන්නේ මෙම තත්ත්වය හේතුවෙන් මැද පෙරදිග රටවල අවි ඉල්ලුම හා භාවිතය අවදානම් අන්තයකට තල්ලු වනු ඇති බවයි. ඉරාන යුද්ධය හේතුවෙන් දැනටමත් කලාපය පවතින්නේ අස්ථාවර තත්ත්වයකය.
‘ඉරාන යුද්ධය ආරම්භ වීමට පෙර යෝජනා වූවත් දැන් මෙම ගිවිසුම ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වී සිටිනවා.’
ඇමරිකාවේ විදේශ කටයුතු පිළිබඳ පාර්ලිමේන්තු කමිටු සාමාජික ක්‍රිස් මර්ෆි පවසයි.
‘රියාද්හි සිදුකෙරුණු මෙම ගනුදෙනුවට ටෙහෙරානය ඉක්මණින් ප්‍රතිචාර දක්වාවි. මෙම ගිවිසුම ඉරානයට න්‍යෂ්ටික අවි නිෂ්පාදනය වෙත තල්ලු කරන බවට සැකයක් නැහැ. අදටත් දක්නට ලැබෙන්නේ එහි සැබෑ ස්වරූපයයි.’
ඔහු ප්‍රකාශ කොට තිබේ.
මීට අමතරව සෙනෙට් සභික ජෝන් කෙනඩි (R-LA) පවසන්නේ සවුදි අරාබිය න්‍යෂ්ටික තාක්ෂණය වෙත යොමුවීම කලාපය තුළ හා ඉන් බැහැර සමතුලිතතාව බිඳ හෙලන බවයි. මැද පෙරදිග, ජපානය හා දකුණු කොරියාවේ න්‍යෂ්ටික ව්‍යාප්තිය අනතුරුදායක බව ඔහුගේ අදහසයි.
ට්‍රම්ප් පරිපාලන දැනටමත් සවුදි අරාබිය සමග න්‍යෂ්ටික ගිවිසුම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂාවෙන් බලා සිටියද එය කොන්ග්‍රස් මණ්ඩලයේ එකඟතාව සඳහා ඉදිරිපත් කිරීමට තිබේ. එහෙත් එය ප්‍රතික්ෂේප කිරීම හිතන තරම් පහසු කාරණයක් නොවන්නේ නියෝජිත හා සෙනෙට් මණ්ඩල දෙකේම තුනෙන් දෙකේ බලයක් ඒ සඳහා අවශ්‍ය වන බැවිනි.
පෙරේදා (බදාදා) අත්සන් කළ මෙම 30 අවුරුදු ගිවිසුමේ සඳහන් සමහර කරුණු තවමත් අනාවරණය කර නැත. නමුත් ක්ෂේත්‍රයේ නියුතු ඇමරිකන් සමාගම්වලට මේ හරහා සවුදි අරාබියෙහි ආයෝජනය කිරීමට අවස්ථාව සැලසේ. එසේම යුරේනියම් තෘප්ත කිරීමේ කිසිදු වගකීමක් සවුදි ආරාබියට පැවැරෙන්නේ නැත. ඊට සම්බන්ධ වුවත් ඒ උපරිම වශයෙන් අවුරුදු 10කට පමණකි. මේ තත්ත්වය මත සංකීර්ණ ප්‍රතිඵල සිදුවිය හැකි බව සමහර දේශපාලනඥයෝ පවසති. ඉරානය යුරේනියම්වලින් ශුන්‍ය කිරීමට උත්සාහ දරන ඇමරිකාවේ මෙම දෙබිඩි පිළිවෙත ඔවුන්ගේ හාස්‍යයට ලක්වී තිබේ.
රියාද්හි සිවිල් න්‍යෂ්ටික වැඩසටහනට ඇමරිකාව සම්බන්ධ වීම සඳහා දෙපාර්ශ්වය අතර සාකච්ඡා පැවැත්වෙන්නේ දශක දෙකක පමණ කාලයක් තිස්සේය. මේ හරහා ඇමරිකාවේ න්‍යෂ්ටික ක්ෂේත්‍රයට ඩොලර් බිලියන ගණනක වාසියක් සැලසෙන බව තක්සේරු කර ඇත. ජෝ බයිඩ්න් රජය යටතේ පටන් මේ පිළිබඳ සාකච්ඡා පැවැත්වුණද ට්‍රම්ප් පරිපාලනය එය ඉක්මන් කිරීමට පියවර ගෙන ඇත.
බදාදා පිලිපීනයේ සංචාරයක් අතරතුරදී ඇමරිකානු රාජ්‍ය ලේකම් මාකෝ රූබියෝ පැවැසුවේ මෙම ගිවිසුම හරහා කලාපය තුළ න්‍යෂ්ටික ව්‍යාප්තියක් සිදුවිය හැකි බවට සිදුකෙරෙන ප්‍රකාශ පදනම් විරහිත බවයි.
ලොව කිසිම රටක් සමග අනතුරුදායක ප්‍රතිඵල ඇතිකරන ගිවිසුම්වලට ඇමරිකාව නොඑළැඹෙන බවද ඔහු පවසා තිබුණි.
ගිවිසුම සම්බන්ධයෙන් සවුදි අරාබිය ද ප්‍රකාශ කොට ඇත්තේ මෙය සියලුම අන්තර්ජාතික ප්‍රමිති සීමාවන් යටතේ න්‍යෂ්ටික ආරක්ෂාව හා සුරක්ෂිතතා මූලධර්ම කේන්ද්‍ර කරගනිමින් සවුදියේ සාමකාමි න්‍යෂ්ටික අවශ්‍යතාවන් සඳහා පමණක් යොදාගන්නා බවය.
එහෙත් ඉරානය කවදා හෝ න්‍යෂ්ටික අවියක් නිෂ්පාදනය කළහොත් සවුදිය ද එවැන්නක් අත්කර ගැනීම සඳහා ඉක්මනින්ම ප්‍රවේශයක් ලබාගන්නා බවත් 2018 CBS පුවත් සේවය සමග පැවැති සාකච්ඡාවකදී සවුදි ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරු ප්‍රකාශ කළේය.
ඊට අමතරව ටෙහෙරානයට න්‍යෂ්ටික අවි නිපදවීමේ අවස්ථාව ඇත්නම් තමන්ට ද ඒ සඳහා අවස්ථාව හිමි විය යුතු බව තුර්කිය ද ඉඟි කර තිබේ.
දශක ගණනාවක් තිස්සේම ඇමරිකාවේ ප්‍රතිපත්තිය වූයේ කිසිදු රටක් සමග දේශීයව යුරේනියම් සංතෘප්ත කිරීම සඳහා ගිවිසුම්ගත නොවීමයි. ඒ වෙනුවට යුරේනියම් තෘප්ත නොකිරීමේ ප්‍රතිඥාව (gold standard) ලබාගැනීමට එය පියවර ගත්තේය. 2009 එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග ඇතිකරගත් එකඟතාව ඊට ළඟම උදාහරණයයි.
‘මෙම ගිවිසුම රුසියාවට හා ඉරානයට සිය හිතවාදී රටවල්වලට න්‍යෂ්ටික තාක්ෂණය ලබාදීම සඳහා නිහඬ අවසරයක් සපයනවාට සැක නැත.’
න්‍යෂ්ටික අවි විශේෂඥවරියක වන ඇන්ඩ්‍රියා ස්ට්‍රයිකර් පවසයි.
2009 එමීර් රාජ්‍ය සමග ඇතිකරගත් gold standard එකඟතාව අනුව යුරේනියම් සංතෘප්ත කිරීමට හෝ ප්ලුටෝනියම් ප්‍රතිනිෂ්පාදනයට ඇති අයිතිය එමීරේට් බලධාරීන් විසින් අත්හරිනු ලැබීය. එසේම න්‍යෂ්ටික කටයුතු නිරීක්ෂණයට ද එමගින් ඉඩ හරිනු ලැබුණි. දැන් සවුදිය සතුව න්‍යෂ්ටික අවියක් සෑදීමේ අරමුණක් පවතීනම් එයට හරස් වී ඇත්තේ මෙම එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග ඇති කරගෙන තිබෙන 2009 gold standard එකඟතාවයි.

