පිල්ලෙයාන්ගේ ඇප පෙත්සම ජනවාරි 18 කැඳවයි
20 November 2026
පිල්ලෙයාන්ගේ ඇප පෙත්සම ජනවාරි 18 කැඳවයි
20 November 2026
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නැගෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා ගොනුකර ඇති පෙත්සම ලබන ජනවාරි මස 18 වැනිදා කැඳවන ලෙස අභියාචනාධිකරණය නියෝග කර තිබේ.
එදින මෙම ඇප ඉල්ලීම සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස දන්වා නීතිපතිවරයා වෙත නොතීසි නිකුත් කරන ලෙස ද අධිකරණය නියෝග කර ඇත.
අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන පී. කුමාරන් රත්නම් සහ ප්‍රදීප් හෙට්ටිආරච්චි යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.
එහිදී පෙත්සම්කාර පිල්ලෙයාන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ මනෝහර ද සිල්වා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් සඳහන් කළේ, සිය සේවාදායකයා 2025 වසරේ අප්‍රේල් මස 08 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ බවයි.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් ඔහු වසරක රඳවා තබා ගැනීමේ නියෝග යටතේ රඳවා තබා ගැනීමෙන් අනතුරුව, ඉකුත් අප්‍රේල් මස 02 වැනිදා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව ද ජනාධිපති නීතිඥවරයා පැවසීය.
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතේ විධිවිධාන අනුව, පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන වසරක කාලයක් ඉක්මවා ගිය පසු එම පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින සැකකරුවන්ගේ ඇප ඉල්ලීම් සලකා බැලීමට අභියාචනාධිකරණයට බලය පවතින බව ද ඔහු පෙන්වා දුන්නේය.
ඒ අනුව, සිය සේවාදායකයා ඇප මත මුදාහරින ලෙස ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය.
කෙසේ වෙතත්, පෙත්සමේ සඳහන් ඇතැම් කරුණු සංශෝධනය විය යුතු බව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට පෙන්වා දුන්නේය.
ඒ අනුව, අදාළ සංශෝධන සිදුකර සංශෝධිත පෙත්සමක් ඉදිරිපත් කිරීමට පෙත්සම්කාර පාර්ශ්වය එකඟතාව පළ කළේය.
අනතුරුව, මෙම පෙත්සම සම්බන්ධයෙන් විරෝධතා ඇත්නම් ඒවා ලබන ජනවාරි මස 18 වැනිදා ඉදිරිපත් කිරීමට පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය නීතිපතිවරයාට නියෝග කළේය.


