ආණ්ඩුවේ පතළ මහා කරුණාව නඩුකාරයන්ට !
27 July 2026
ආණ්ඩුවේ පතළ මහා කරුණාව නඩුකාරයන්ට !
27 July 2026
(හොඳ, හොඳම කරන මේ ආණ්ඩුවේ නොහොඳ නරක ලියන්නට තරම් මා දුර්ජනයෙක් නොවේ. එහෙයින් මේ සතියේත් මෙහි ලියන්නේ ආණ්ඩුවේ ගුණවරුණ බව ඉතා ඕනෑකමින් දන්වා සිටිමි.)
මේ දිනවල රටේ ඇති ලොකුම ප්‍රශ්නය බව පෙනෙන්නේ ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන්ගේ සේවා කාලය අවුරුදු දෙකකින් දිගු කරන්නට යෑමය. මෙය රටේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් නොව(සුන්බුන්) විපක්ෂය හා (ජඩ) මාධ්‍යය විසින් උලුප්පනු ලැබූ ප්‍රශ්නයකි. උදාහරණයක් හැටියට මට ඇති ලොකුම ප්‍රශ්නය ආණ්ඩුව පැමිණ අවුරුදු එකහමාරක් ගතවීමෙන් පසුවත් විට්ස් කාරෙකක් ගැනීමට නොහැකි වීමය. මගේ බිරිඳට තිබෙන ලොකුම ප්‍රශ්නය අවුරුදු එකහමාරකට පසුව වුවද අපේ ආදායමෙන් අපේ වියදම පියවා ගැනීමට බැරිකමය. නඩුකාරයන්ගේ ප්‍රශ්න ගැන කරදර වෙනවාට වඩා ලොකු තමන්ගේම ප්‍රශ්න මෙය කියවන ඔබටද තිබෙනවා නිසැකය.
එක එකා ආණ්ඩුවට මෙසේ එක එක බාල්දි පෙරළන්නේ ආණ්ඩුවේ අහිංසකකම නිසාය. රටේ පරමාධිපත්‍යය තිබෙන්නේ මහජනතාවටය. මහජනතාව ආණ්ඩුවට විධායක ජනාධිපති පදවියත්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයකුත් ලබා දී තිබේ. ඒ සා විශාල බලයක් ඇති ආණ්ඩුවට ඉහළ උසාවි දෙකේ විසිතිස්දෙනාට වැඩිපුර අවුරුදු දෙකක සේවා දිගුවක් දෙන්නටවත් බැරි නම් ඒ බලය බම්බු ගහන්නද සහෝදරවරුනි? ඒ නැතත් මෙය ආණ්ඩුවේ පිස්සු කෙළීමක්ම යැයි මොහොතකට සිතමු. මහජනතාව මෙන්ම ඔවුන් පත්කර ගත් ආණ්ඩුවද ඉඳහිට පිස්සුවකුත් කෙළීම ස්වාභාවිකයි නේද ?
ආණ්ඩුව නඩුකාරයින්ගේ සේවා කාලය දික් කරන්නේ ගොඩ ගැසී ඇති නඩු ඉක්මණින් ඉවර කරන්නට යැයි කියයි. විපක්ෂය කියන්නේ එසේ කිරීමෙන් නඩු ඉවර කරන්නට බැරි බවය. ඒ කතාව නම් ඇත්තය. නඩු ඉවර කරන්නට නම් එක්කෝ නඩුකාරයින්ට ඕවර් ටයිම් ගෙවා රෑ වෙනතුරු නඩු අහන්නට ඕනෑය. නැත්නම් උසාවි හා නඩුකාරයින් ඩබල්, ට්‍රිබල් කරන්නට ඕනෑය. ඒ වුණාට "අපට තියාගන්න ඕනෑ එක්කෙනා, දෙන්නා වෙනුවෙන් හැමෝටම සේවා දිගු ලබා දෙනවා" යැයි කටක් හැර කියන්නට යහපත් ආණ්ඩුවකට පුළුවන්ද? බෑ නේද ? ඒ නිසා නඩු ඉක්මන් කරන්නට නඩුකාරයින්ට සේවා දිගු ලබා දෙනවා යැයි අහිංසක බොරුවක් කියන්නට අහිංසක ආණ්ඩුවට සිද්ද වී තිබේ. පව් බං!
මේ සියලු කරදර ආණ්ඩුව වැදගත් විදිහට හැසිරෙන නිසාය. ආණ්ඩුවේ බලය පෙන්වන්නේ නැති නිසාය. ඇත්තටම මෙය ජනාධිපතිතුමාගේ (මාසික ) පාර්ලිමේන්තු දේශනාවේදී සුපුරුදු විදිහට සුළු පරිමාණයේ තගකින් ගොඩ දාගන්නට තිබුණු ප්‍රශ්නයකි. එහෙමත් නැත්නම් ආණ්ඩුවේ අමාත්‍ය, නියෝජ්‍ය අමාත්‍යාදීන් දැන් දැන් ගොවීන්ට කතාකරන බාසාවෙන් විපක්ෂය ඇමතීමෙන් අවසන් කරගන්නට පුළුවන් ප්‍රශ්නයකි. ("අඩෝ, අපි අවුරුදු දෙහෙකින් නඩුකාරයින්ගෙ සර්විස්සෙක දික්කරනව තමයි ඩෝ, ඇයි තොපි නවත්තන්නද?" ආදී වශයෙනි) ජේවීපීයේ පැටිකිරිය මතක කිසිවකුත් ඊට පසු නඩුකාරයා කියා කියන්නටවත් කට නාරිනු ඇත.
මෙහිදී විපක්ෂයේ ගුණමකුකම ගැනද නොකිව්වොත් ඒ අඩුපාඩුවකි. සිය "පෝසත් රටක් පොෂ් ජීවිතයක්" ප්‍රකාශනයේ අඩංගු සියලු කරුණු කාරණා ආණ්ඩුව දැන් ඉෂ්ට කර තිබේ. එසේ කරගෙන, කරගෙන යද්දී විපක්ෂයටද මොනවා හෝ කර දෙන්නට ඕනෑ යයි ආණ්ඩුව කල්පනා කළේය. ඒ සිය බෝසත් ගුණය නිසාය. නඩුකාරයින්ගේ සේවා දිගුව ආණ්ඩුව එසේ විපක්ෂය වෙනුවෙන් කළ වැඩේය. මෙතෙක් එකාට එකා නැතුව සිටි විපක්ෂයේ සියලු පක්ෂ දැන් ඊට විරුද්ධව එක්සත් වී තිබේ. එහෙත් තමන්ව එක් කළේ ආණ්ඩුව බව මේ කෙළෙහිගුණ නොදත් විපක්ෂයට මතක නැත.

