Best News Website award
brand logo
logo
ඊජිප්තුවේ ඉන්ධන බවුසරයක් පෙරළී හටගත් ගින්නකින් 31 දෙනෙකු ජීවිතක්ෂයට

ඊජිප්තුවේ ඉන්ධන බවුසරයක් පෙරළී හටගත් ගින්නකින් 31 දෙනෙකු ජීවිතක්ෂයට

26 November 2026


ඊජිප්තුවේ කයිරෝ නුවර අධිවේගී වටරවුම් මාර්ගයක සිදු වූ දරුණු රථවාහන අනතුරකින් පසු හටගත් දැවැන්ත ගින්නකින් පුද්ගලයින් 31 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව, තවත් 21 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරයි.


ඊයේ (25) පස්වරුවේ කයිරෝ නගරයේ 'වරාක්' (Warraq) ප්‍රදේශයේ පිහිටි අධිවේගී මාර්ගයේදී මෙම බිහිසුණු අනතුර සිදුව ඇත.


පෞද්ගලික කොන්ත්‍රාත්කරුවෙකුට අයත් ඉන්ධන ප්‍රවාහන බවුසරයක් ධාවනය වෙමින් තිබියදී මාර්ගය මතට අධි-වෝල්ටීයතා විදුලි රැහැනක් කඩා වැටී තිබේ. එම අවස්ථාවේ රියදුරුට රථය පාලනය කර ගැනීමට නොහැකි වීමෙන්, එය මාර්ගය මැද පිහිටි ආරක්ෂිත බාධකය මතින් අනෙක් මංතීරුව වෙත පෙරළී ගොස් ඇති බව වාර්තා වේ.


බවුසරයෙන් ඉන්ධන මාර්ගය පුරා විසිරී යාමත් සමඟ විශාල ගින්නක් හටගෙන ඇති අතර, ඒ අසලින් ගමන් කරමින් තිබූ සහ නවතා තිබූ වාහන රැසකට ද ගිනි ඇවිලී විනාශ වී තිබේ.


අනතුරින් පිළිස්සුම් තුවාල ලැබූවන් සහ අධික දුමාරය ආඝ්‍රාණය වීමෙන් ශ්වසන අපහසුතාවලට ලක්වූ පුද්ගලයින් කඩිනමින් අවට රෝහල් වෙත ඇතුළත් කිරීමට බලධාරීන් පියවර ගෙන ඇත.


මෙම සහන මෙහෙයුම් සඳහා ගිලන්රථ 39ක් යොදවා තිබූ අතර, ඊජිප්තු සෞඛ්‍ය අමාත්‍යවරයා ද රෝහල් වෙත ගොස් තුවාලකරුවන්ට ප්‍රතිකාර ලබා දෙන ආකාරය පිළිබඳව සොයා බලා තිබේ.


අනතුර සම්බන්ධයෙන් කලාපීය නීති බලධාරීන් විසින් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, මියගිය පුද්ගලයින්ගේ අනන්‍යතාව තහවුරු කර ගැනීම සඳහා ඩී.එන්.ඒ. (DNA) පරීක්ෂණ සිදු කරන ලෙස ද උපදෙස් ලබා දී ඇත.


මේ වන විට අධිවේගී මාර්ගයේ තිබූ ගිනිගත් වාහන ඉවත් කර මාර්ගය යළි රථවාහන ගමනාගමනය සඳහා විවෘත කර තිබේ.

 

More News..