හිටපු වරාය කළමනාකාර අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට
19 December 2025 | කේ.එස්. උදය කුමාර
හිටපු වරාය කළමනාකාර අධ්‍යක්ෂවරයා ඉදිරිපත් කළ පෙත්සම විභාගයට
19 December 2025 | කේ.එස්. උදය කුමාර
වර්තමාන රජය බලයට පත්වීමෙන් පසුව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කළ තමන්ව එම තනතුරෙන් ඉවත් කිරීමට විෂය භාර අමාත්‍යවරයා ගනු ලැබූ තීරණය බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා එම ධූරයේ කටයුතු කළ ප්‍රභාත් මලවීආරච්චි මහතා විසින් ඉදිරිපත් කළ රිට් පෙත්සමක් විභාගයට ගැනීමට වග උත්තරකරුවන්ට නොතිසි නිකුත් කරන ලෙස අභියාචනාධිකරණය නියම කළේය.
දීර්ඝ කරුණු සලසා බැලීමකින් අනතුරුව අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුහ.
මෙහිදී විනිසුරු මඩුල්ල විසින් ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙත යෝජනා දෙකක් ඉදිරිපත් කළහ.
එක් යෝජනාවක් වන්නේ මෙම පෙත්සම්කරු මීට පෙර දැරු අතිරේක කළමනාකාර අධ්‍යක්ෂ මෙහෙයුම් තනතුර පුරපාඩුව පවතින්නේදැයි සොයා බලා ඊට පෙත්සම්කරු පත්කිරීමට හැකියාව තිබේදැයි දැනුම් දෙන ලෙස ශ්‍රී ලංකා වරාය අධිකාරිය වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ආබෘ මහතාට දැනුම් දුන්නේය.
ඊට අමතරව මෙම පෙත්සම් විභාගය අවසන් වන තුරු දැනට කළමනාකාර අධ්‍යක්ෂ ධූරයේ කටයුතු කරන ඝනක හේමචන්ද්‍ර මීට පෙර කටයුතු කළ තනතුරේ පිහිටුවා කළමනාකරණ අධ්‍යක්ෂ ධුරය සඳහා වැඩ බලන අයෙකු පත් කිරීම සම්බන්ධයෙන් විෂයභාර අමාත්‍යවරයාගෙන් උපදෙස් ලබා ගෙන දැනුම් දෙන ලෙසත් විනිසුරු මඩුල්ල අතිරේක සොලිසිටර් ජනරාල්වරයාට වැඩි දුරටත් නියම කළහ.
මේ සම්බන්ධයෙන් වරාය අධිකාරියෙන් උපදෙස් ලබා ගෙන ජනවාරි මස 13 වනදා අධිකරණයට දැනුම් ලෙසත් විනිසුරු මඩුල්ල විසින් අතිරේක සොලිසිටර් ජෙනරාල් වරයාට දැනුම් දුන්හ.
ඊට අමතරව මෙම පෙත්සමට අදාල විරෝධතා තිබේනම් ඒවා ජනවාරි මස 21 වනදා ඉදිරිපත් කරන ලෙසත් ප්‍රතිවිරෝධතා තිබේ නම් ඒවා පෙබරවාරි මස 12 වනදා ගොනු කරන ලෙසත් විනිසුරු මඩුල්ල පාර්ශව කරුවන්ට නියම කළහ.
ඉන් අනතුරුව පෙත්සම් විභාගය පෙබරවාරි මස 17 වන දා සිදු කිරීමටත් අධිකරණය දින නියම කළේය.
මෙහිදී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් ජනාධිපති නීතීඥ සංජීව ජයවර්ධන මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටියහ.

