brand logo
logo
ශ්‍රී ලංකාව නොබැඳි කඳවුරෙන් ඈත් වේද?

ශ්‍රී ලංකාව නොබැඳි කඳවුරෙන් ඈත් වේද?

08 September 2026


වර්තමාන මාලිමා ආණ්ඩුව, ජවිපෙ ඉන්දියාව සම්බන්ධයෙන් අතීතයේ පළ කළ ප්‍රතිචාරය ආණ්ඩුව බලය ලබාගත් පසු වෙනස් කිරීම කාලයක් තිස්සේ කාගේත් විවේචනයට ලක් වූවකි. ආණ්ඩුවේ විදේශ ප්‍රතිපත්තියේ මතු නොව ආණ්ඩුවේ ආරක්ෂක ප්‍රතිපත්තියේද බරපතළ වෙනස්කමක් පිළිබඳ ආරංචියක් පැතිර යන්නේ ඒ අතරය. ඒ පසුගියදා කැනඩාවේ පැවැති ගෝලීය ආරක්ෂක ප්‍රධානීන්ගේ සමුළුවකට සහභාගිවීමට මෙරට ආරක්ෂක ලේකම් සම්පත් තුයියකොන්තා ගිය ගමනෙන් පසුවය. එහිදී ආරක්ෂක ලේකම්වරයා නේටෝ හමුදා කමිටුවේ සභාපති අද්මිරාල් ගුයිසෙප් කැවෝ ඩ්‍රැගෝන් සමග සාකච්ඡාවක් පවත්වා තිබේ.


ජාත්‍යන්තර සමුළුවකට සහභාගි වන නියෝජිතයන් ඊට පැමිණෙන අනෙකුත් රටවල හා සංවිධානවල නියෝජිතයන් හා සංවාදවලට එළඹීම අලුත් ප්‍රවෘත්තියක් නොවේ. එහෙත් ශ්‍රී ලංකා නියෝජිතයා මෙහිදී නේටෝ හමුදා ප්‍රධානියා හමුවී ඇත්තේ සුහද කතාබහකටම නොවේ. ඔහු එහිදී ආරක්ෂක කටයුතු සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සමග සහයෝගයෙන් කටයුතු කරන ලෙස නේටෝ හමුදා ප්‍රධානියාගෙන් ඉල්ලා තිබේ.


මෙරට ආරක්ෂක ලේකම් නේටෝ හමුදා ලොක්කාගෙන් ඉල්ලා ඇත්තේ හමුදා නිලධාරීන් හුවමාරු කරගැනීම, තොරතුරු සහ විශේෂඥ හුවමාරුව, උසස් තාක්ෂණය, සයිබර් හැකියාවන් ඇතුළු හමුදා නවීකරණයන් සඳහා මෙරටට සහයෝගය දක්වන ලෙසය. අපට මේ සම්බන්ධයෙන් ඉතා කෙටියෙන් කියන්නට දෙයක් තිබේ. ඒ මේ නම් වැඩි වැඩක් බවය.


නේටෝ සංවිධානය යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. එදා ජවිපෙ භාෂාවෙන් කියතොත් එය අධිරාජ්‍යවාදී අවශ්‍යතා ආරක්ෂා කරන ආක්‍රමණශීලී සංවිධානයකි. මේ ආණ්ඩුවේ නායකයන් කියන හැත්තෑහය අවුරුදු සාපයේදී නම් අපේ රට මෙවැනි සංවිධාන සමග ඇයි හොඳයිකම් පැවැත් වූයේ නැත.


රටට නිදහස ලැබුණුදා පටන් අපේ නායකයන් අනුගමනය කළේ ඒ ඒ බලකඳවුරුවලට නොබැඳුණු පිළිවෙතකි. එහෙත් නේටෝ යනු යුරෝපා, උතුරු ඇමරිකා, අත්ලාන්තික් සාගර කලාපවල රටවලින් සැදුම් ලත් එක් බලකඳවුරක යුද සංවිධානයකි. එහෙයින් මෙරට ආරක්ෂක ලේකම්වරයාගේ හැසිරීම පෙන්නුම් කරන්නේ අපේ හමුදා ප්‍රවේශයන්ගේ පැහැදිලි වෙනස්කමකි.


මෙතෙක් අපේ රට අනුගමනය කළේ ද්විපාර්ශ්වික සබඳතා මගින් අපේ හමුදා ඕනෑ එපාකම් ඉෂ්ට කරගැනීමයි. ඒ වෙනුවට ආරක්ෂක අමාත්‍යාංශය බටහිර හමුදා සහාය එක එල්ලේ ඉල්ලා සිටීම දුරවබෝධ කාරණයකි. ඒ නේටෝ බල ප්‍රදේශය අපේ ආරක්ෂක අවශ්‍යතාවන්ට අදාළ නොවන පසුබිමකදීය.


ලෝක ප්‍රවෘත්ති පිළිබඳ උනන්දු කවුරුත් දන්නා පරිදි තුන්වැනි ලෝකයේ රටවල් හා නේටෝ සංවිධානය අතර පවතින්නේ මිත්‍රශීලී සම්බන්ධයක් නොවේ. යුගෝස්ලෝවියාව, ඇෆ්ගනිස්තානය හා ලිබියාව යන රටවල කිසිම ප්‍රකෝප කිරී⁣මකින් තොරව නේටෝ සංවිධානය ඒ රටවල කළ හමුදා මැදිහත්වීම් කුප්‍රකටය. අදටත් පලස්තීන වැසියන්ට එරෙහිව ඊශ්‍රායලය ගෙනයන ජන සංහාරයටද නේටෝ සංවිධානයේ ඍජු සම්බන්ධය පවතී.


එසේ ගත් කල 2024 දී බලයට පත්වන තෙක් සමාජවාදී දේශපාලන පක්ෂයක් හැටියට පෙනී සිටි ජවිපෙ නියෝජනය කරන ආණ්ඩුව නේටෝ සංවිධානයේ සහයෝගය ඉල්ලා සිටීම රටේ දේශපාලන මධ්‍යස්ථභාවය පිළිබඳ බරපතළ ගැටලුවක් මතු කරයි. චගෝසියානු ජනතාව වාර්ගික ඉවත් කිරීම හරහා පිහිටවූ ඇමරිකන් යුද කඳවුරක් පිහිටි දියාගෝ ගාර්ෂියාව අපේ රටට ආසන්නව පිහිටා තිබියදී නේටෝව හා ගනුදෙනු කිරීමට යෑමෙන් අනාගතයේ රටට මතුවිය හැකි ප්‍රශ්න ගැන සිතීම පවා උගහටය. මේ හැසිරීම අපේ රටේ උපාය මාර්ගික දිශානතිය යොමුවී ඇත්තේ කොයිබටද යන බරපතළ ප්‍රශ්නය මතු කරයි.


සියලු කාරණා සලකා බැලූ කල අප සිතන්නේ ආරක්ෂක ලේකම්වරයා නේටෝවෙන් කළ ඉල්ලීම පිළිබඳ ආණ්ඩුව අප්‍රමාදව කරුණු පැහැදිලි කිරීමක් කළ යුතු බවය. ආණ්ඩුව පැහැදිලිවම නොබැඳි ප්‍රතිපත්තියෙන් බැහැර වී බටහිර හිතවාදී වැඩපිළිවෙළක් අනුගමනය කරන්නේද යන සැකය ඔහුගේ ඉල්ලීම නිසා මතුවන හෙයිනි. මෙය ආරක්ෂක ලේකම්වරයා ආණ්ඩුවේ අනුදැනුම ඇතිව කළ ඉල්ලීමක් නම් ආණ්ඩුව ගමන් කරන්නේ කොයිබට දැයි තේරුම් ගැනීම රටට පහසුය.

 

More News..