brand logo
logo
ගෙයි ගින්දරෙන් දැවී අළුවීමට පෙර...

ගෙයි ගින්දරෙන් දැවී අළුවීමට පෙර...

22 October 2024

‘ගෙයි ගින්දර පිටට දෙන්න එපා’ යැයි සමාජ උපදේශයක් ඇති නමුත් මෙරට නැගෙන ‘ගෙයි ගින්දර’ අප හිතනවාට ද වඩා භයානක බව හැඟී යන්නේ ගෘහස්ථ හිංසනය හේතුවෙන් මේ වසරේ ‍මෙරට පුද්ගලයන් දහතුන් දෙනෙකු නොඑන ගමන් ගොස් ඇතැයි පොලිස් ළමා සහ කාන්තා කාර්යාංශය අනාවරණය කර තිබීමෙනි. එහි තවදුරටත් දැක්වෙන අන්දමට 2022 වසරේ සිට මේ දක්වා ගෘහස්ථ හිංසනය හේතුවෙන් සිදුව ඇති මරණ ගණන දුසිම් පහක් පමණ වේ.


ගෘහස්ථ හිංසනය යනු සරලව කිවහොත් එකම වහලක් යට වෙසෙන අයෙක් විසින් අනෙකා වෙත එල්ල කරන ප්‍රචණ්ඩත්වයකි. නැතහොත් සම්බන්ධතාවක සිටින දෙදෙනෙක් අතර එක් අයෙක් අනෙකා කෙරෙහි වාචික, ශාරීරික, මානසික හෝ ලිංගික ආදී ලෙසින් ආවේගයන් මුදා හැරීමයි. අහඹු ලෙස එක්වරක් සිදුවන සිදුවීමක් නොව නිරන්තරයෙන් පාහේ සිදුවන හිංසනයක් හෙවත් පුරුද්දක් කරගත් ප්‍රචණ්ඩත්වයකි.


බොහෝ විට වාග් ප්‍රහාර ලෙසින් ඇරඹෙන මෙම ප්‍රචණ්ඩත්වය ඉන් පසු අතපය හෝ වෙනත් ශරීරාංග යොදාගෙන පමණක් නොව පොලු මුගුරු, පිහි-මන්න ආදිය යොදාගන්නා තැන දක්වා වුව දරුණු අතට හැරිය හැකිය. මෙම කතුවැකියට නිමිති සැපයූ 'මාරක සංඛ්‍යා දත්තයට' හේතු වී ඇත්තේ මේ ආකාරයෙන් පොලු මුගුරු, පිහි-මන්නා සහ මදි පාඩුවට මෝල්ගස්, මිරිස් ගල්, භූමිතෙල් බෝතල් ආදිය ද රැගෙන ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මුදාහැරීමට යන අවස්ථාවල අවසාන ප්‍රතිඵලයයි.


තමා සමග එකට, එක් වහලක් යට දිවි ගෙවන අනෙකා මරාදැමීම යනු මේ ප්‍රචණ්ඩත්වයේ උච්ඡතම තැනය. නමුත් ඉන් මෙහා ගෘහයන් තුළ කෙතරම් නම් හිංසනයන් සිදුවන්නේද. මැරුණේ නැතත් ගෘහස්ථ හිංසනයන් විඳිමින් දිනක් දිනක් පාසා මැරි මැරී උපදින මොන තරම් පිරිසක් මේ රටේ සිටිනවා ඇත්ද? නිවස මේ ආකාරයෙන් අඬදබරයෙන් ගැවසීගත් තැනක් වූ විට දෙන්නා දෙමහල්ලන් පමණක් නොව ඔවුන්ගේ මීළඟ පරම්පරාව ද උස්මහත් වන්නේ දැඩි පීඩාවන් දරාගනිමිනි. ඔවුන්ගේ ආත්ම තුළට කා වදින මේ හිංසාකාරීබව මතු දිනය කරා ගෘහස්ථ හිංසනය විකාශනය කරන බව මනෝ වෛද්‍යවරු විසින් ප්‍රකාශ කරනු ලැබේ. එපමණක් නොව පාතාලය හා එක්ව භීෂණය, සමාජ ප්‍රචණ්ඩත්වය පතුරවන චරිත කියැවීමේදී ඔවුන් අතරින් බහුතරය සිය ළමා දිවියේදී ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ අනියම් හෝ සෘජු ගොදුරු බවට පත්වූවන්ය. වෙනකක් තබා කෝටි හතහමාරක් (මිලියන 75ක්) මනුෂ්‍යයන් මළවුන් අතරට යැවූ දෙවැනි ලෝක යුද්ධයේ අංක එකේ වගකිවයුත්තා වන ඇඩොල්ෆ් හිට්ලර් ද ගෘහස්ථ හිංසනයේ ‘විනාශකාරී නිර්මාණයක්’ වන්නේය. එබැවින් ගෘහස්ථ හිංසනය යනු මේ මොහොතේ මේ සමාජයේ සිදුවන හානිකර දෙයක් පමණක් නොව මත්තෙහි සිය දහස් ගුණයක සමාජ හානියක් සිදුකරවන 'මානුෂ භක්ෂකයන්' බිහිවිය හැකි මට්ටමේ දැවැන්ත අර්බුදයකි.


සමාජයක් ලෙසින් අප මේ අර්බුදයට නිසි ආමන්ත්‍රණයක් කර ඇත්තේද? පිළිතුර නම් 'කිසිසේත් නැත' යන්නය.


පොලිසියේ අදාළ අංශයක් පිහිටුවීමෙන් හෝ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ 'සමාජ සේවා නිලධාරී' පත්වීමක් ඇතිකිරීමෙන් හෝ විසඳිය හැකි ගැටලුවක් නොවේ මෙය. එසේ වූවා නම් මේ වන විටද ගෘහස්ථ හිංසනය පිළිබඳ සිදුවීම් අවරෝහණ ආකාරයට වාර්තා විය යුතුය. නමුත් ඒවා ආරෝහණ ආකාරයට වාර්තා වන්නේ නම් අප මෙතෙක් ඒ වෙනුවෙන් යෙදූ පිළියම් අතීසාරයට අමුඩ ගැසීම් බව අකමැත්තෙන් හෝ පිළිගත යුත්තේය.


ගෘහය තුළ සිටින ‘හිංසාකාරියා’ පොලිසිය ඉදිරියට කැඳවා අවවාද කිරීමෙන් හෝ නීතිය ඉදිරියට ගෙන ගොස් දඬුවමක් ලබාදීමෙන් හෝ මේ ගැටලුව විසඳුණු තැන් කොපමණ ඇත්තේ දැයි පසු විපරමක් කර බැලිය යුතුය. බොහෝ දුරට එහිදී සිදුව ඇත්තේ පොලිසිය විසින් තමන්ට ලබාදුන් 'සබ්බුව' පෙරළා නිවැසියන්ට ලබාදීමට මේ හිංසාකාරියා පෙළැඹීමය. පොලිසියේ සුළු පැමිණිලි අංශයෙන් ඇරඹෙන මේ නීති කටයුත්ත සමහරවිටක අවසන් කරන්නට සිදුවන්නේ ‘අපරාධ ස්ථාන නිරීක්ෂණ ඒකකය’ හෙවත් ‘සොකෝ’ ඒකකයෙන්ය.


එනිසා මේ ආකාරයේ ගෘහස්ථ හිංසනයක් වාර්තා වීමේදී මෙතෙක් ක්‍රියාත්මක කළ සාම්ප්‍රදායික වූද, ප්‍රතිඵල රහිත වූද ක්‍රමවේදයන්ගෙන් ඔබ්බට ගොස් ‘ගෙයි ගින්දර නිවන’ වඩාත් ප්‍රායෝගික ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට කාලය පැමිණ තිබේ.


මෙය අවවාද කිරීම් හෝ නීතිමය දඬුවම් කිරීම්වලට වඩා සැබැවින්ම විශේෂ මනෝ උපදේශනයන් සහ පුනරුත්ථාපනයට යොමුකර විසඳිය යුත්තකි. ගෘහස්ථ ප්‍රචණ්ඩත්වයේ චූදිතයාගේ මනස නිසි තැන පිහිටුවීමෙන් තොරව ප්‍රතිඵලදායක කිසිවක් කළ නොහැක. එසේම එම හිංසනයේ පීඩිතයන් ද සුමට පුනරුත්ථාපන ක්‍රමවේදයක් ඔස්සේ මානසික සත්කාරයන්ට යොමුකළ යුතුය. මෙම හිංසනය මීළඟ පරම්පරාව කරා විකාශනය වීම හෝ මෙලෙස දරාගන්නා පීඩනයේ ප්‍රතිඵලයක් ලෙස ත්‍රාඩයකු හෙට සමාජයට බිහිවීම ආදිය වළක්වාගත හැකිවන්නේ එවැනි ප්‍රතිකර්මවලිනි.


එසේම පොලිසියෙන් රැකවරණයක් ඉල්ලීම හෝ බාහිර පාර්ශ්වයක සහනදායි මැදිහත්වීමක් ඉල්ලා නොසිට හෙවත් ‘ගෙයි ගින්දර’ කිසිසේත් පිටට නොදී ගෘහස්ථ හිංසනයේ අනේකවිධ දුක්ඛ දෝමනස්සයන් දරාගෙන මහත් වූ මානසික කලකිරීම්වලින් ජීවත්වන උදවිය ද ඇත්තෝය. මෙවැනි අයෙක්ගේ ඉවසීම ‘පුපුරා යන’ මොහොතක් එළඹියහොත් එය කුමන ආකාරයේ විනාශයකින් කෙළවර වේ දැයි කිව නොහැක. එබැවින් අයෙක්ට තම අනන්‍යතාව හෙළි නොකර හෝ තම ගැටලුව ඉදිරිපත් කර අවශ්‍ය මානසික උපදේශනයන් මෙන්ම ගෙයි ගිනි නිවෙන සේ හැසිරීම පිණිස අවශ්‍ය උපදෙස් ආදිය ලබාදීමට හැකි පැය විසිහතර පුරා ක්‍රියාත්මක ‘දුරකථන මාර්ගික උපකාරක සේවාවක්’ (helpline) රාජ්‍ය මට්ටමේ වගකීමක් සහිතව ක්‍රියාවට නැංවීම ද අතිශය වටියි.


ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය විසින් ‘මිනිස් බිලි’ ගැනීම නවතාලීම ඒ හැටි සංකීර්ණ කාරණාවක් යැයි අපි විශ්වාස නොකරමු. මන්ද මෙය බත් හැළිය ඉදෙන විට දෙන්නා දෙමහල්ලන්ගේ අඩදබර අවසන් වන්නේ යැයි අත්දැකීමෙන් විශ්වාස කරන සමාජයක් බැවිනි. පුංචි බෙහෙතකින් සුවකළ හැකි ‘ලෙඩක්’ මාරකයක් කරගත යුත්තේද?

 

More News..