Best News Website award
brand logo
logo
ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය දීමට එක්සත් ජාතීන් සූදානම්

ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහාය දීමට එක්සත් ජාතීන් සූදානම්

18 November 2026


2028–2032 වර්ෂ සඳහා යෝජිත එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගිතා රාමුව මෙරට ජාතික සංවර්ධන ප්‍රමුඛතාවලට අනුකූල වන බවට එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිස සහතික වූ ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.


තාක්ෂණික විශේෂඥතාව, ආයතනික ධාරිතා ගොඩනැගීම සහ ජාත්‍යන්තර හවුල්කාරිත්වයන් මගින් ශ්‍රී ලංකා රජයට අඛණ්ඩව සහාය දීමට සූදානම් බව යළිත් තහවුරු කළ බව එම නිවේදනයෙන් දැනුම් දී තිබේ.


2028–2032 වර්ෂ සඳහා යෝජිත එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන සහයෝගිතා රාමුව යටතේ ද්විපාර්ශ්වික හවුල්කාරිත්වය තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ සාකච්ඡාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ (UN) නියෝජිත පිරිසක් සහ ශ්‍රී ලංකා රජයේ නිලධාරීන් අතර අද (18) ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබුණි.


ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාව වට දෙකකින් යුතුව ක්‍රියාත්මක වූ බව සඳහන් වේ.


එහිදී, යහපාලනය, විනිවිදභාවය, වගවීම සහ දූෂණ විරෝධී ක්‍රියාමාර්ග ශක්තිමත් කිරීමට සමගාමීව, ආර්ථික ස්ථායීකරණයේ සිට තිරසාර, සියල්ලන් ඇතුළත් කරගත්, අපනයන-මූලික කරගත් වර්ධනයක් මෙන්ම, පෞද්ගලික අංශයේ ආයෝජන දිරිමත් කරමින් දිගුකාලීන ණය තිරසාරභාවය කරා ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳවද මෙහිදී ප්‍රධාන අවධානයක් යොමු කර ඇත.


පරිපාලන සහ ප්‍රසම්පාදන ක්‍රියාවලි විධිමත් කිරීම, ආයෝජන සඳහා ඇති නිලධාරිවාදී බාධක ඉවත් කිරීම, රාජ්‍ය ආයතන නවීකරණය කිරීම සහ රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව සහ සේවා සැපයීම වැඩිදියුණු කිරීම සඳහා ඩිජිටල්කරණය වේගවත් කිරීමේ අවශ්‍යතාව ශ්‍රී ලාංකික නියෝජිත පිරිස විසින් මෙහිදී අවධාරණය කර තිබේ.


රජයේ දත්ත පද්ධති, ආයතනික ධාරිතාව සහ ආදායම් පරිපාලනය ශක්තිමත් කිරීමද මෙම සාකච්ඡාවේ ප්‍රධාන ප්‍රමුඛතා ලෙස හඳුනා ගෙන ඇත.


දේශගුණික ඔරොත්තු දීමේ හැකියාව, ආපදා අවදානම් අවම කිරීම, කෘෂිකාර්මික නවීකරණය, ආහාර සුරක්ෂිතතාව, ඉලක්කගත සමාජ ආරක්ෂණය, තරුණ රැකියා නියුක්තිය, වෘත්තීය පුහුණුව සහ වයස්ගත වන ජනගහනය වෙනුවෙන් පෙර සූදානම් වීම සහයෝගිතාව සඳහා හඳුනාගත් අනෙකුත් ප්‍රමුඛතා ක්ෂේත්‍ර විය.


එක්සත් ජාතීන්ගේ නියෝජිතායතන විසින් කුඩා පරිමාණයේ වෙන් වෙන් වූ ව්‍යාපෘති වෙනුවට, ඉහළ බලපෑමක් ඇති ජාතික වැඩසටහන් කෙරෙහි අවධානය යොමු කරමින් සහ පවතින රාජ්‍ය ආයතන ශක්තිමත් කරමින් 'එකම ඒකකයක් ලෙස ක්‍රියාත්මක' (Delivering as One) සම්බන්ධීකරණ ප්‍රවේශයක් අනුගමනය කිරීමේ වැදගත්කමද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි.


ජාතික සංවර්ධන ප්‍රමුඛතා සඳහා සම්පත් සපයා ගැනීමේ ක්‍රම ලෙස මිශ්‍ර සහ සහනදායී මූල්‍ය පහසුකම්, දේශගුණික අරමුදල් සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වය ඇතුළු නව්‍ය මූල්‍යකරණ ක්‍රමවේද පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය.


එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක Marc-André Franch මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් මෙම එක්සත් ජාතීන්ගේ නියෝජිත පිරිසට, එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක කාර්යාලයේ Azam Bakeer Markar, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නේවාසික නියෝජිත Azusa Kubota සහ ජාත්‍යන්තර සංක්‍රමණ සංවිධානයේ (IOM) දූත මණ්ඩල ප්‍රධානී Kristin Parco යන මහත්ම මහත්මීහු ඇතුළත් වූහ.

 

More News..