brand logo
logo
හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි නඩු විභාගය ජූනි 17

හිටපු ඇමති කුමාර ජයකොඩිට එරෙහි නඩු විභාගය ජූනි 17

06 May 2026

හිටපු බල ශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතාට එරෙහිව දූෂණ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන නඩුවේ විභාගය ජූනි මස 17 වනදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය නියම ක‍ළේය.


මෙම නඩුව අද (06) කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. 

එහිදී පූර්ව නඩු විභාග සම්මන්ත්‍රණය අවසන් කළ මහාධිකරණ විනිසුරුවරයා නඩු විභාගය ජුනි මස 17 වනදා ආරම්භ කරන බවත් නිවේදනය කළේය.


එදින පැමිණිල්ලේ සාක්ෂිකරුවන් දෙදෙනෙකුට අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සිතාසි නිකුත් කරන ලෙසත් විනිසුරුවරයා විසින් නියම කරනු ලැබීය.


2016 වසරේ ලංකා පොහොර සමාගමේ ප්‍රසම්පාදන සහ ආනයන අංශයේ කළමනාකරු ලෙස සේවය කරමින් ලංකා පොහොර සමාගමේ හුණුපිටිය ගබඩා සංකීර්ණයේ භූමිය මත කාපට් ඇතිරීම සඳහා සිදුකළ ප්‍රසම්පාදන ක්‍රියාවලියක දී පුද්ගලික සමාගමකට වාසියක් අත්වන ආකාරයෙන් කටයුතු කරමින් රජයට රුපියල් 8,859,708 ක පාඩුවක් සිදුකිරීම තුළින් "දූෂණය" නමැති වරද සිදුකළ බවට චෝදනා කරමින් අල්ලස් කොමිසම මඟින් හිටපු අමාත්‍යවරයාට එරෙහිව මෙම චෝදනා ඉදිරිපත් කර තිබේ.

 

More News..