brand logo
logo
එල්නිනෝ ගැන අතිශයෝක්ති තොරතුරු පිළිබඳ බය වෙන්න එපා

එල්නිනෝ ගැන අතිශයෝක්ති තොරතුරු පිළිබඳ බය වෙන්න එපා

24 July 2026 | සටහන - ශ්‍රියානි විජේසිංහ

මේ වන විට ලෝකයේ ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ අවදානම සියයට 81 ක් පමණ වන බව ලෝක කාලගුණික විද්‍යා සංවිධානය පුරෝකතනය කර ඇත. මින් පෙර එම අගය පැවැතුණේ සියයට 63 ක් වැනි අගයකය. ඒ අනුව ඉදිරියේදී එල්ලිනෝ තත්ත්වය හමුවේ ඍජුවම බලපෑමට ලක්විය හැකි අංශ අතර කෘෂි කර්මාන්තය, ආහාර සුරක්ෂිතතාව, වැවිලි ක්ෂේත්‍රය, ජල කළමනාකරණය, බලශක්ති යන අංශ ප්‍රධාන තැනක් ගන්නා බව කියැවෙයි. මෙම අංශ කෙරෙහි ඇතිවන බලපෑම අවම කරගෙන ඉදිරියේදී ඇතිවිය හැකි එල්ලිනෝ තත්ත්වයට මුහුණ දීම සඳහා හැඩ ගැසිය යුතු ආකාරය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ (අනාවැකි) එම්.එම්.පී. මෙන්ඩිස් සමග “අරුණ” කළ සාකච්ඡාවකි මේ.


මේ දිනවල මිනිස් සිරුරට දරාගන්න බැරි තරම් අධික උෂ්ණත්වයක් තිබෙන බවත් එයට හේතුව එල්ලිනෝ බවත් ඇතැමුන් කියනවා. ඇත්තටම එල්ලිනෝ නිසා මේ වන විට ලංකාවට මොන වගේ බලපෑමක් ද ඇති වෙලා තියෙන්නේ?


තවමත් එල්නිනෝ තත්ත්වය පවතින්නේ දුර්වල මට්ටමක. ඉදිරියේදී ක්‍රමයෙන් උෂ්ණත්වයේ වැඩිවීමක් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ වන විට මධ්‍යම හා නැගෙනහිර පැසිෆික් මුහුදේ උෂ්ණත්වය සාමාන්‍ය ප්‍රමාණයට වඩා ඉහළ ගිහින් තියෙනවා. මෙය ලෝකයේ විවිධ රටවලට විවිධ ලෙස බලපෑම් ඇතිකරනවා. මේ වන විට උෂ්ණත්වයේ යම් වැඩිවීමක් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පවතිනවා. මේ දිනවල දැඩි රස්නයක් තියෙනවා කියලා ඇතැමුන් කියන්නේ ඒ නිසා වෙන්න ඇති. කොහොම වුණත් අගෝස්තු මාසය වන විට අපට ඒ උෂ්ණත්වය වඩාත් තදින් දැනෙන්න පුළුවන්.


දැනට පවතින සාමාන්‍ය එල්ලිනෝ තත්ත්වය ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනය විය හැක්කේ කිනම් කාලසීමාවකද?


මේ වසරේ ඔක්තෝබර් - දෙසැම්බර් කාලය වන විට දැනට පවතින තත්ත්වය ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් දක්වා වර්ධනයවීමේ හැකියාවක් පවතින බව දැනටමත් ලෝක කාලගුණ විද්‍යා සංවිධානය ප්‍රකාශ කරලා තියෙනවා. ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව සියයට 80-81ක් වැනි අගයක තියෙනවා කියලයි එම සංවිධානය කියන්නේ. ඒ කාලය වන විට අපේ රටටත් එයින් ඇතිවිය හැකි බලපෑම් හඳුනාගන්න පුළුවන්. එල්නිනෝවට මුහුණ දිය යුතු අන්දම පිළිබඳව අපි දැනටමත් යම් යම් පුරෝකතන ඉදිරිපත් කරලා තියෙනවා. එම පුරෝකතනවලට අනුව සූදානම් වීමයි ජනතාව කළ යුත්තේ.


ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව සියයට 63ක් පමණ බව මින් පෙර කළ සාකච්ඡාවකදී ඔබ කිව්වා නේද?


ඔව්. දුර්වල මට්ටමක තිබූ එල්නිනෝ තත්ත්වය ඉතා ප්‍රබල එල්නිනෝවක් දක්වා වර්ධනයවීමේ හැකියාව සියයට 63ක සම්භාවිතාවක පවතින බවත් එය නොවැම්බර් ජනවාරි කාලය අතර ඇතිවිය හැකි බවත් අපි මීට පෙර ප්‍රකාශ කළා. නමුත් මේ වන විට ගෝලීය පුරෝකථන අනුව ඒ අගය සියයට 80ක් පමණ බව ප්‍රකාශ වී තිබෙනවා. ලෝක කාලගුණ විද්‍යා සංවිධානයේ පුරෝකතනවලට අනුව ප්‍රබල එල්නිනෝ තත්ත්වයක් ඇතිවීමේ සම්භාවිතාව සියයට 80-81ක් වැනි අගයක තියෙනවා කියලා දැන් අපිට කියන්න පුළුවන්.


එල්නිනෝ තත්ත්වය දුර්වලද, ප්‍රබලද, එසේත් නොමැති නම් අති ප්‍රබල ද කියලා තීරණය කරන්නේ කොහොමද?


එල්නිනෝවේ ප්‍රබලත්වය තීරණය කරන්නේ ගෙවී ගිය මාස තුනක පැවැති උෂ්ණත්වයේ සාමාන්‍ය අගය මතයි. ඒ අනුව එල්නිනෝ තත්ත්වය දැන් තිබෙන්නේ දුර්වල මට්ටමකයි. අපි එහෙම කියන්නේ පසුගිය මාස තුන තුළ පැවැති උෂ්ණත්ව අගයන් ගණනය කිරීම මතයි. එනම් පසුගිය පෙබරවාරි, මාර්තු සහ අප්‍රේල් මාස තුනෙහි පැවැති උෂ්ණත්වයේ සාමාන්‍ය අගයට අනුව මේ වන විට එල්ලිනෝ තත්ත්වය පවතින්නේ දුර්වල මට්ටමකයි. මේ විදිහටම මැයි, ජුනි සහ ජූලි මාසවල උෂ්ණත්වයේ සාමාන්‍ය අගය ගණනය කරලා අගෝස්තු මාසය මුලදී එල්නිනෝවේ අලුත්ම තත්ත්වය පිළිබඳ කියන්නත් හැකියාවක් තියෙනවා.


ලංකාවට මොන තරම් කාලයක් එල්නිනෝවේ බලපෑමට මුහුණ දෙන්න වේවිද?


මේ එල්නිනෝ තත්ත්වය ආරම්භ වුණේ පසුගිය ජුනි මාසයේනේ. ලබන වසරේ අප්‍රේල් දක්වාම අපට මෙමගින් බලපෑම් ඇතිවීමේ හැකියාව පවතිනවා කියලා අපි විශ්වාස කරනවා. ඉන් පසුව ක්‍රමයෙන් එය ලා නිනා තත්ත්වයකට පත්වීමේ හැකියාවකුත් තියෙනවා.


එල්ලිනෝ තත්ත්වයත් සමග දැඩි නියඟයක් ඇතිවීමේ අවදානමක් ඇති බවකුත් පහුගිය දිනවල කියැවුණා. එවැනි නියඟයක් ඇතිවීමට ඉඩ තියෙන්නේ කුමන කාලයකද?


අගෝස්තු, සැප්තැම්බර් කාලය තුළ වර්ෂාව අඩුවෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ වගේම ලබන වසරේ ජනවාරි සිට අප්‍රේල් දක්වා කාලය තුළත් වර්ෂාව අඩුවී මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වයක් නිර්මාණය වෙයි කියලත් අපි විශ්වාස කරනවා. කොහොම නමුත් එල්නිනෝ කියන්නේ වෙනත් වර්ෂවලට සාපේක්ෂව වර්ෂාව අඩුවීම මිස වර්ෂාව සම්පූර්ණයෙන්ම නැතිවෙන එක නොවෙයි.


දැනට තිබෙන දත්ත අනුව ප්‍රබල එල්නිනෝ තත්ත්වය ලංකාවේ වර්ෂාපතන රටාවට මොන වගේ බලපෑමක් ඇති කරයිද?


ලංකාවේ වර්ෂාපතන රටාව අධ්‍යයනය කිරීමේදී ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලය තුළ අපි වර්ෂාව බලාපොරොත්තු වෙනවා. මේ කාලය තුළ වර්ෂාවේ වැඩිවීමක් අපේක්ෂා කරනවා. මෙම වැඩිවීම ඇතැම් විට ගංවතුර, නායයාම් වැනි තත්ත්වයක් දක්වා වුවත් වර්ධනය වීමේ හැකියාවක් නිර්මාණය වෙන්න පුළුවන්. කොහොම නමුත් ගංවතුර, නායයෑම් ඇතිවෙයි කියලා අපිට තවම නිශ්චිත වශයෙන්ම කියන්න හැකියාවක් නැහැ.


මේ දක්වා කාලය තුළ එල්නිනෝ විසි අටක් පමණ ඇවිත් තියෙනවා. අපි වසර 30ක පමණ කාලයක් අධ්‍යනයක් කර බැලූ විට ප්‍රබල එල්නිනෝ තියෙන අවස්ථාවල දී පවා ඔක්තෝබර් නොවැම්බර් මාසවල අපේ රට තුළ වර්ෂාව හැමදාම වැඩිවෙලා තියෙනවා. සාමාන්‍යයෙන් වසරක් තුළ ලැබෙන වර්ෂාවෙන් සියයට 30ක පමණ වර්ෂාවක් ලැබෙන්නේ මේ කාලය තුළයි. ඔක්තෝබර්- නොවැම්බර් කියන්නේ අපේ දෙවන අන්තර් මෝසම් කාලයයි. කොහොම වුණත් ලබන වසර මුල් කාර්තුවේදී වැස්ස අඩු වෙලා සිරුරට දැනෙන උෂ්ණත්වයක් ඇතිවෙන්නත් ඉඩ තියෙනවා.


ලබන වසරේ මුල් කාර්තුව තුළ වර්ෂාවේ අඩුවක් වෙනවා නම් ජලාශවල ජල මට්ටමත් සීග්‍රයෙන් පහත බැසීමේ අවදානමකුත් තියෙනවා නේද?


දැනට ජලාශවල පවතින ජලය හා ඉදිරි වර්ෂාවෙන් ලැබෙන ජලය මනා ලෙස කළමනාකරණය කරගැනීමට කටයුතු කළොත් ඉදිරියේදී බරපතළ ජල ගැටලුවක් ඇතිවෙන්නේ නැහැ කියලා අපිට විශ්වාස කරන්න පුළුවන්. මේ සඳහා අදාළ ආයතන එකතු වෙලා මනා කළමනාකරණයකින් යුතුව දීර්ඝකාලීන සැලසුම් සකස් කර ගත යුතු වෙනවා.


ඔබ ඔය කියන ආකාරයේ දීර්ඝ කාලීන සැලසුම් සකස් කරගැනීම සඳහා අදාළ ආයතන මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවත් සමග අවශ්‍ය සාකච්ඡා කරනවද?


වාරිමාර්ග දෙපාර්තමේන්තුව, මහවැලි අධිකාරිය, ජල කළමනාකරණ ආයතනය, ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය, විදුලිබල මණ්ඩලය, සෞඛ්‍ය අමාත්‍යාංශය ආදී සියලුම ආයතන සමග කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අපි නිරන්තරයෙන් සාකච්ඡා කරනවා. ඒ වගේම අවශ්‍ය තාක්ෂණික සහයෝගය ලබාදීමටත් කටයුතු කරනවා.


ඒ අනුව ගොවිතැනට අවශ්‍ය ජලය කළමනාකරණය කරගෙන ගොවිබිම්වලට ඒවා මුදා හරින්නේ කොහොමද කියන කාරණාව සම්බන්ධයෙන් වාරිමාර්ග දෙපාර්තමේන්තුව සමග සහ මහවැලි අධිකාරියේ ජල කළමනාකරණ දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරනවා. විදුලිබලය මණ්ඩලය සමග සාකච්ඡා පවත්වලා විදුලි බලය උත්පාදනයට අවශ්‍ය ජලය ලබා ගත යුතු අන්දම සහ අවශ්‍ය කාලගුණ දත්තයන් ලබාදීමකුත් කරනවා.


ඒ වගේම මිනිසුන්ගේ පානීය ජල අවශ්‍යතාව සඳහා ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලය සමග නිරන්තරයෙන්ම සම්බන්ධ වෙමින් අප සතු අනාවැකි ප්‍රකාශයට පත්කරනවා. ඒ අදාළ පිරිසට සැලසුම් සකස් කරගැනීමට එය පහසුවක් වෙනවා කියලා කියලා මම හිතනවා.


සෞඛ්‍ය අමාත්‍යංශයට අපි අවශ්‍ය කාලගුණ දත්ත සපයනවා සහ ඔවුන් සමග නිරන්තරයෙන්ම සාකච්ඡා පවත්වනවා. අපේ මේ සාකච්ඡා නිසා ජනතාවට ලබා දිය යුතු උපදෙස් සකස් කර ගැනීමට අදාළ අංශවලට පහසු වෙනවා. මීට අමතරව අපි මාසිකව එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් අනාවැකි ඉදිරිපත් කරනවා. එම අනාවැකියවලට අනුකූලව ඒ ඒ ආයතනය තමන්ගේ උපදෙස් මාලාවන් නිකුත් කිරීමට කටයුතු කරනවා.


එල්ලිනෝ නිසා ඉදිරියේදී සුළි කුණාටු ඇතිවීමේ අවදානමකුත් තිබෙනවාද?


සුළි කුණාටු ගැන කල් ඇතිව අනාවැකි පළකරන්න හැකියාවක් නැහැ. ඒ බව කියන්න පුළුවන් වෙන්නේ සතියක් වැනි කාලයක් තුළදීයි. කොහොම වුණත් ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල අපිට සුළිකුණාටු අවදානමක් තිබෙනවා. මොකද මේ කාලය තුළ ශ්‍රී ලංකාව ආශ්‍රිතව කැලඹිලි ස්වභාවයක් වර්ධනය වීමේ හැකියාව පවතිනවා. දිට්වා තත්ත්වය ඇතිවුණෙත් පසුගිය වසරේ නොවැම්බර් දෙසැම්බර් මාසවලනේ. ඒ නිසා නොවැම්බර් දෙසැම්බර් මාසවල අවදානයෙන් ඉන්න එක අපි හැමෝගෙම ආරක්ෂාවට හොඳයි.


කෙසේ නමුත් ලංකාව ආසන්නයේ ඇතිවන සුළි කුණාටු තත්ත්වය එල්නිනෝ තත්ත්වය සමග සම්බන්ධතාවක් නැහැ. නමුත් එල්නිනෝ නිසා කුණාටුවල තීව්‍රතාව වැඩිවෙන්න පුළුවන්. එල්නිනෝ තත්ත්වයන් හා සුළි කුණාටු අතර සම්බන්ධයක් තිබෙන බව මේ වෙනතෙක් සොයාගෙන නැහැ. වර්ෂාපතනයේ අඩු වැඩිවීම් සොයාගෙන තිබුණාට සුළි කුණාටුවල අඩුවැඩි වීම් සොයාගෙන නැහැ.


එල්නිනෝ සම්බන්ධයෙන් මේ දවස්වල විවිධාකාරයේ තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වෙනවා. එල්ලිනෝ නිසා ඉදිරියේදී විශාල හානියක් ලංකාවට වෙන්න ඉඩ තිබෙන බවත් කියැවෙනවා. මෙවැනි තොරතුරු නිසා ජනතාව දැඩි ලෙස බියට පත්වී සිටින බවක් අපට පේනවා. මේ ගැනත් කතා කළොත් හොඳයි නේද?.


එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිරන්තරයෙන් අවදානයෙන් පසුවෙනවා. ලෝක කාලගුණ විද්‍යා සංගමය මගින් ප්‍රකාශයට පත්කරන දත්ත මත පදනම්වයි අපි හැමවිටම අනාවැකි පළකරන්නේ. ඒ නිසා අප ආයතනය මගින් නිකුත් කරන නිල ප්‍රවෘත්ති හා තොරතුරු ගැන පමණක් විශ්වාසය තබාගෙන කටයුතු කරන්න කියලා අපි ජනතාවට මතක් කරනවා. එල්නිනෝ තත්ත්වය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල පළවන ඇතැම් කරුණු ගැන විශ්වාසය තියාගෙන අනියත බියක් ඇති කරගන්න එපා කියලා අපි ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. මොකද සමාජ මාධ්‍ය කියන්නේ නිවැරැදි වගේම වැරැදි තොරතුරුත් ඉතා ඉක්මනින් හුවමාරු වන තැනක්. ඒ නිසා එල්නිනෝ සම්බන්ධයෙන් අතිශයෝක්තියෙන් යුතුව ප්‍රචාරය වන තොරතුරු පිළිබඳ බිය වෙන්න එපා කියලා තමයි අපට ජනතාවට කියන්න තියෙන්නේ. අපි අවශ්‍ය වෙලාවට අවශ්‍ය කරුණු පිළිබඳ ජනතාව දැනුම්වත් කරනවා.

 

More News..