නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කර අත්හිටවූ සිරදඬුවමකුත් නියම කරයි
16 March 2026
නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කර අත්හිටවූ සිරදඬුවමකුත් නියම කරයි
16 March 2026
නීතිඥවරුන්ගේ වෘත්තීය ආචාර ධර්ම උල්ලංඝනය කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු කැකිරාව ප්‍රදේශයේ සේවයේ නියුතු නීතිඥවරියකගේ නීතිඥ භාවය අහෝසි කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (16) තීන්දු කර තිබේ.
එම චෝදනාවලට අදාළව නිකුත් කරනු ලැබූ නියෝගයක් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට ද වරදකරු කෙරුණු එම තැනැත්තියට වසරක සිරදඬුවම් නියම කොට එම සිරදඬුවම වසර පහකට අත්හිටුවන ලෙසත් ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබුණි.
ඊට අමතරව රුපියල් 2,5000 ක දඩයක්ද නියම කළ විනිසුරු මඩුල්ල එම දඩ මුදල ගෙවීම පැහැර හරිනු ලැබුවොත් අමතරව මාස හයක සිරදඬුවම් නියම කරන බවත් නඩු තීන්දුවේ සඳහන් වේ.
වග උත්තරකාරිය අදාළ චෝදනාවලට වරද පිළිගැනීමෙන් අනතුරුව අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු යන විනිසුරුවරුගේ එකඟත්වය ඇතිව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු යසන්ත කෝදාගොඩ මහතා විසින් මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබීය.
2023 වසරේ ජූලි මස 27 වන දා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු ගොනුවක පිටු දෙකක් ගලවා සපා කා හානි සිදුකිරීම තුළින් නීතිඥ ආචාර ධර්ම වලට නොගැලපෙන ආකාරයෙන් කටයුතු කිරීම සම්බන්ධයෙන් එම තැනැත්තියට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කර තිබුණි.
එම චෝදනා විභාග කිරීමට තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය එම විභාගය අවසන් වනතුරු වග උත්තරකාරියට නීතිඥ වෘත්තියේ නිරතවීම වළක්වාලමින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර ඇත.
එසේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අතුරු තහනම් නියෝගයක් නිකුත් කර තිබියදී එය උල්ලංඝනය කරමින් වගඋත්තරකාරිය යළි නීතිඥ වෘත්තියේ නිරත වී ඇති බවට ඉදිරිපත් වූ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව ඇයට එරෙහිව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවක්ද නීතිපතිවරයා විසින් ගොනු කර ඇත.
මෙම චෝදනා පත්‍ර දෙකටම මුල් අවස්ථාවේදී තමන් නිවැරදිකාරිය බව වග උත්තරකාරිය විසින් ප්‍රකාශ කර තිබුණත් පසුව එම චෝදනාවලට තමන් වරද පිළිගන්නා බව අධිකරණයට දැනුම් දී තිබුණි.
ඉන් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරු සඳහන් කළේ මෙම වගඋත්තරකාරිය සිදුකර තිබෙන ක්‍රියාව නීතිඥවරුන්ගේ ආචාර ධර්ම පද්ධතිය බරපතළ අයුරින් උල්ලංඝනය වී ඇති බවය.
ඒ අනුව ඇයගේ නම නීතිඥ නාමාවලියෙන් ඉවත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණයේ රෙජිස්ට්‍රාර්ට නියෝග කළ ත්‍රීපුද්ගල විනිසුරු මඩුල්ල මෙම තීරණය ශ්‍රී ලංකා නීතිඥ සංගමයට සහ කැකිරාව දිසා විනිසුරුවරයාට දැනුම් දෙන ලෙසත් නියම කර තිබේ.
ඉන් අනතුරුව අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට ද වරදකරු කෙරුණු එම තැනැත්තියට අත්හිටවූ සිරදඬුවම් සහ දඩ නියම කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඇඟිලි සලකනු ලබාදීම සඳහා එම තැනැත්තිය පොලිස් අපරාධ හා ඇඟිලි සැලකුණු කොට්ටාසය හමුවේ පෙනී සිටිය යුතු බවටත් වැඩ දුරටත් නියෝග කර තිබේ.

