brand logo
logo
කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන හොයන්න විශේෂ තේරීම් කාරක සභාවක් ඉල්ලා යෝජනාව කථානායකට

කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන හොයන්න විශේෂ තේරීම් කාරක සභාවක් ඉල්ලා යෝජනාව කථානායකට

23 October 2026


රටේ ජාතික ස්වභාවික උරුමයක් වූ කාවන්තිස්ස ඇතාගේ ඛේදජනක මරණය පිළිබඳ සත්‍ය හෙළිදරව් කර ගැනීමටත්, එම සිදුවීමට අදාළ සියලු පාර්ශ්ව සිය වගකීම් නිසි පරිදි ඉටු කර ඇත්ද යන්න තහවුරු කර ගැනීමටත්, එම ඇතා වෙනුවෙන් යුක්තිය ඉෂ්ට කර ගැනීමත් වෙනුවෙන් විපක්ෂය විසින් පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් ඉල්ලා ඇත.


ඒ අනුව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් පාර්ලිමේන්තුවේ විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන ලෙස ඉල්ලා කතානායකවරයා වෙත අත්සන් කරන ලද යෝජනාව අද (23) බාරදීම සිදුවිය.


මෙහිදී අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් කියා සිටියේ, කාවන්තිස්ස ඇතාගේ මරණය ගැන සෙවීම සේම දැනට සිටින ඇත් පරපුර ආරක්ෂා කිරීම ගැනත් පියවර ගත යුතු බවත්, මෙය දේශපාලනයෙන් තොර දෙයක් බවත්ය.


එසේම දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව ද පක්ෂ භේදයෙන් තොරව සම සභාපතිත්වයෙන් යුතුව සාර්ථකව ක්‍රියාත්මකවන නිසා මෙම ඇතාගේ මරණය පිළිබඳ සොයන කමිටුවට ද රාජ්‍ය හා විපක්ෂයේ සම සභාපතිත්වයෙන් යුතුව ස්ථාපිත කරන ලෙසට යෝජනා කරන බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී කතානායකවරයා වෙත යෝජනා කළේය.

 

More News..