brand logo
logo
පාතාලයන්ට ගිය රට !

පාතාලයන්ට ගිය රට !

23 July 2026

අප වෙසෙන සිරිලක අමුතු දේශයකි. දිනපතා රස නහර පිනවන, ලොමු දැහැගන්වන විවිධ පුවත්වලින් එහි අඩුවෙක නම් නොමැත. ත්‍රාසය, භීතිය, ඕනෑවටත් වැඩිය! ඉකුත් දිනෙක එතෙර පැන, වහසි බස් දොඩන පාතාලයෙක් දෙවුන්දර උපුල්වන් දේවාලයේ අවුරුදු පතා පවත්වන මහ පෙරහර මඟුල පැවැත්විය යුතු ආකාරය පිළිබඳ උපදෙස් දුන්නේලු. උන්දගේ යැයි කියන හඬ පටයකට නොමිලේම ප්‍රචාරය ලබාදීමට රටේ රූපවාහිනී චැනල කටයුතු කර තිබිණි. මෙරට වැදගත් වැඩකට එවැනි ප්‍රචාරයක්, වැදගත් කෙනකුගේ පණිවුඩයකට එබඳු තැනක් නොලැබුණාට පාතාල වැඩවලට නම් ප්‍රචාර ඕනෑ තරම්ය. යට සිටින බව කියන පාතාලයන් ගිය දුරක් ! පාතාල ආරංචි මාර්ග අනුව නිල වශයෙන් මාධ්‍ය සාකච්ඡා මගින් තමන්ගේ අදහස් ප්‍රචාරයට ශ්‍රී ලංකා පොලිසියෙන් තමන්ට අවසර නොලැබෙන හෙයින් මෙවැනි හඬපට නිකුත් කරනවාලු ! නරකම නැහැ උපක්‍රමය !


ලැබෙන තොරතුරු අනුව කැඳ පොව්වා (කන්ජි පානි) යනුවෙන් කුප්‍රකට පාතාලයෙක් පෙර කී පරිදි අණ දෙනවාලු ! කැඳයන්ටත් ගිය කල ! ඉස්සර අපේ ගමේ ඇත්තන් පැවසුවේ "මේකා මහ කැඳයෙක්’’ යැයි අවඥා සහගතවය. ඊළඟට මේ කැඳයාගේ දුබසට බැණ වැද තිබුණේ දෙහිබාගයකි. අපේ මිනිස්සු පොල් සම්බෝලෙටත් දෙහි ගෙඩියක් වත් දමති ! ඔවුන් දෙහිබාග නොතැකූ තරම්ය. එසේ වුවද කැඳයාට ලැබුණු ප්‍රචාරයම දෙහි බාගෙට ද ලැබිණි ! මේක අරුම පුදුම ලන්තයක් යැයි කී මෙහි කවර නම් දොසෙක්ද?


උපුල්වන් දෙවියන් වෙනුවෙන් පවත්වන දෙවුන්දර මහා දේව මඟුල පාතාල කෙළියක් වී ඇති අරුමය ! එමගින් පෙනෙන්නේ පාතාලයන්ගේ අණසක දේවාල ද ඉක්මවා පැතිරෙන කරුමයේ තරම නොවේද? නර පණුවන්ගේ පාලනයේ තිබෙන වාසස්ථාන ගැන කවර කතාද? අපට පෙනෙන පරිදි කලක් තිස්සේ ඔඩු දුවන කාවාඩි හටනෙන් දෙවුන්දර මහා දේව මංගල්‍යය නිදහස් කර ගත නොහැකිය. එසේ හැකි වූයේ නම් මෙලහටත් එය විසඳි ඉවරය. දෙවුන්දරට අධිපති බස්නායක නිලමේ කතරගම දෙවොලේ නිලමේද වේ. අපට ඇතිවන කුහුල නම් දෙවිනුවර ගැටලු විසඳා ගැනීමට නොහැකි වූ ඔහුට කතරගම ද බාරදීමය. ආණ්ඩුවට මේ ගැටලුවට විසඳුමක් ලබා දිය හැකි යැයි කෙනකුට සිතිය හැකිය. එහෙත් අප ද එවැනි හැඟීමකින් කටයුතු කළ ද මීගමුව රිමාන්ඩ් බන්ධනාගාරයේ කෙළියෙන් පැහැදිලි වූයේ අපගේ හැඟුම මරීචියක් බවය.


පාතාල තන්ත්‍රය ඕනෑම රටක බලවත් වනුයේ රාජ්‍යතන්ත්‍රය දුබල වීම නිසා බව තේරුම් ගැනීමට මැකියාවලිගේ හෝ ඇරිස්ටෝටල්ගේ හෝ කෞටිල්‍යගේ හෝ ජේ.ආර්. ජයවර්ධනගේ පොතපත ලිපි ලේඛන කියවිය යුතු නැත. එනිසා ආණ්ඩුවට හැකියාව තිබේ නම් ආණ්ඩුකරණය ශක්තිමත් කළ යුතුය. එනම් රට පාලනය කළ යුතුය ! එකී වැඩේ කිරීමට අප ආණ්ඩුවට බල කරන්නේ නැත. ඒ අදාළ නැති වැඩ කිරීමට බල කරන්නේ යැයි කියමින් විවිධ උපදේශක කමිටුවලට අප කැඳවීමට ඉඩ තිබෙන හෙයිනි. එනිසා බල කිරීම් වුවමනා නැත ! එබැවින් මේ අවනඩුව දෙවියන්ටම බේරා ගැනීමට ඉඩදී බලා සිටීම හොඳයයි අපට සිතේ. දෙවියන්ගෙන් නම් නර පණුවන්ට පහසු වන්නේ නැත. දෙවියන්ගේ බල මහිමය ගැනද බාලයෝ විවිධ කතා කියති. ඔලොක්කු දමති. දෙවියන්ට කළ හැක්කක් නැතැයි පවසති. දැන් දෙවියන්ට ඒ අසිරිමත් බල මහිමය පෙන්වීමට හැකිය. එවැනි බල මහිමයක් පෙන්වා දේව ආණ්ඩුවක් හෝ බිහි කරන්නේ නම් යෙහෙකි. දැන් සමහරු එවැනි ආණ්ඩුවක් ගැන කතාද කරති. දෙවියන් හෝ රට පාලනය කර නර පණුවන්ට සෙත සදන්නේ නම් හොඳයයි අපගේ හැඟුමය. එසේ නොවුණොත් නරපණුවන්ට දෙවොල ළඟාවීම නොව ගෙදර වැස්මද නොහැකි වනු ඇත. අනෙක් අතට මිනිස් ආණ්ඩුවට කැඳ සහ දෙහිබාග පාලනය කළ නොහැකි වුවද දෙවියන්ට එය කළ හැකිවනු ඇත ! දේව ලොවෙන් ලැබෙන තොරතුරුවලට අනුව බාග වැඩවලට සුරයෝ නොරිසි වෙති. නර පණුවන්ටද දෙවියන්ගේ වැඩවලට සහායක් දිය හැකිය. ඒ පාතාල කෙළියක් වෙමින් තිබෙන පෙරහර බැලීම වැරුමය ! අනෙක් අතට දෙවොල් දෙකකට බස්නායකකම් කරන නිලමේටද ඒ සඳහා නර පණුවන් මෙහෙයවිය හැකිය. එවැනි හැකියාවක් නිලමේට තිබේනම් කැඳ බාග සහ දෙහිබාග මෙතරම් රඟන්නේ දැයි කෙනකුට කුකුසක් ඇති විය හැකිය. ඒ කෙසේ වෙතත් ඒ කාරිය කිරීමට හෙතෙම මුල් විය යුතුය. සියලු දේව බල, පාතාල බල මැඬලීමට යොදාගත යුතුය. දෙහිබාග නම් ගිනි පිඹ තිබෙන බව දැනගන්නට ලැබේ. එයට හිලව් වශයෙන් කැඳයාද ගිනි පිඹිනු ඇත. එවිට රට දෙකොන ගිනි ගත් විලක්කුවක් වනු ඇත. රටට දෙවියන්ගේම පිහිටය.

 

More News..